වෙසක් සැරසිලි සහ දන්සැල් සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්න - මධ්‍යම පරිසර අධිකාරිය

වෙසක් සැරසිලි සහ දන්සැල් සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්න - මධ්‍යම පරිසර අධිකාරිය
  • SocialShare:

වෙසක් සමයේ සැරසිලි, දන්සැල් සහ විවිධ පුණ්‍ය කටයුතු සඳහා පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලී­මක් කරයි.

වෙසක් පහන්කූඩු ඇතුලු සැරසිලි සඳහා මෙන්ම දන්සැල් සංවිධානය කිරීමේදී පොලිතීන් ලන්ච්ෂීට්, තනි භාවිත කෝප්ප, පිඟන්, හැඳි, ගෑරුප්පු, කලතන සහ ඉටිකොළ ආදිය භාවිත කරන බව නිරීක්ෂණය වී ඇති බව එම අධිකාරිය සඳහන් පවසයි.

2023 ජූලි 19 දිනැති අංක 2341/30 ගැසට් පත්‍රය මඟින් පුළුල් කරන ලද නීතිවලට අනුව පුළුල් කරන ලද පොලිස්ටියරින් ආහාර බහාලුම්, ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, හැඳි, ගෑරුප්පු, පිහි, කලතන සහ ප්ලාස්ටික් මල්මාලා ඇතුලු තනි භාවිත ප්ලාස්ටික් අයිතම රැසක් භාවිත කිරීම තහනම් කර තිබේ.

එමෙන්ම 2017 සැප්තැම්බර් 01 දිනැති අංක 2034/34 ගැසට් පත්‍රයට අනුව පොලිතීන් ලන්ච්ෂීට් භාවිතය ද තහනම් කර ඇති අතර, අංක 2034/37 ගැසට් පත්‍රය මඟින් ආගමික, සමාජීය සහ සංස්කෘතික උත්සව සඳහා පොලිඑතිලින් හා පොලිප්‍රොපිලින් නිෂ්පාදන සැරසිලි සඳහා යොදා ගැනීම නීතියෙන් වළක්වා ඇත.

මෙම නීති උල්ලංඝනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කරයි.

පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් ජල මූලාශ්‍ර දූෂණය වීම, සතුන්ට හානි සිදුවීම, මයික්‍රෝ ප්ලාස්ටික් මඟින් මිනිස් සෞඛ්‍යයට බලපෑම් ඇතිවීම සහ විවෘතව දහනය කිරීමෙන් විෂ වායු නිකුත් වීම වැනි බරපතළ පාරිසරික හා සෞඛ්‍ය ගැටලු මතුවන බව ද එම අධිකාරිය පෙන්වා දෙයි.

එබැවින් වෙසක් උත්සවය සැමරීමේදී පරිසර හිතකාමී විකල්ප භාවිත කරන ලෙසත්, භාවිතයට ගැනීමට සිදුවන නොදිරන ද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරන ලෙසත් මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.