ශ්‍රී ලංකාවේ ධීවර අංශයේ නවීකරණ කටයුතු සහ නවෝත්පාදන ව්‍යාපෘති සඳහා ජපන් රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසෝමාටා අකියෝ මහතා පවසයි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ජපන් තානාපතිවරයා අතර පැවති හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙම හමුවේදී දෙරටේ ධීවර ක්ෂේත්‍රයේ ප්‍රගතිය සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ජපන් රජය ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍යාධාර වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අමාත්‍යවරයා එහිදී කරුණු පැහැදිළි කළ අතර මෙරට ධීවර අංශයට නවතම තාක්ෂණික මෙවලම් සහ ක්‍රමවේද හඳුන්වා දීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී ඇත.
තවද මෙරට සමුද්‍ර සම්පත් වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීම සඳහා ධීවර අමාත්‍යාංශය සතු ඉදිරි ඉලක්ක සහ සැලසුම් පිළිබඳව ද අමාත්‍යවරයා , තානාපතිවරයා දැනුවත් කර තිබේ.
දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ධීවර ක්ෂේත්‍රෙය් උන්නතිය සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට ජපානය සූදානම් බව තානාපතිවරයා එහිදී සහතික විය.


