ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සුරක්ෂිත කිරීමට රජයේ අවධානය

ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සුරක්ෂිත කිරීමට රජයේ අවධානය
  • SocialShare:

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය මුහුණ දෙන ගෝලීය අභියෝග සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා (07) අමාත්‍යංශයේදී පැවැත්විණි.

ඇමරිකා එක්සත් ජනපදය රටවල් 60කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන “301 විමර්ශනය” (301 Investigation) සහ එමගින් මෙරට ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව අවධානය යොමු කෙරිණි.

ඇමරිකානු රජය පනවන තීරුබදු (Tariffs) සම්බන්ධයෙන් පවතින සාකච්ඡා සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය ඇමරිකානු බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙරට පවතින සියලුම වෙළෙඳ ගිවිසුම් (Trade Agreements) නැවත සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටුවක් ද පත් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

බලහත්කාර ශ්‍රමික සේවය (Forced Labor) සම්බන්ධයෙන් ඇමරිකානු රජය ගෙන ඇති නව තීන්දු සහ 1974 වෙළෙඳ පනතේ 301 වගන්තිය යටතේ සිදු කරන විමර්ශන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බලහත්කාර ශ්‍රමික සම්මුතීන් සඳහා අත්සන් තබා ඇති අතර, ඒ සම්බන්ධ දේශීය නීති පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවද ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ද අනුමත කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 30ක අපනයන ඉලක්කයක් සපුරා ගැනීම රජයේ අපේක්ෂාව බවද මෙහිදී අනාවරණය විය.

දැනට ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයෙන් සියයට 40ක් ඇමරිකා එක්සත් ජනපදයටත්, සියයට 30ක් යුරෝපා සංගමයටත්, සියයට 15ක් එක්සත් රාජධානියටත් අපනයනය කරන බවද සාකච්ඡාවේදී සඳහන් කෙරිණි.

කලාපීය තරඟකාරීත්වය හමුවේ දේශීය ඇඟලුම් කර්මාන්තය මුහුණ දෙන අභියෝග සහ දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කරමින් ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට ගතයුතු පියවර පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු විය.

මෙම සාකච්ඡාවට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා, උප සභාපති හේමන්ත පෙරේරා මහතා, ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස් මහතා, (JAAF)හි හිටපු සභාපති සයිෆුදීන් ජැෆර්ජි මහතා, MAS හෝල්ඩින්ග්ස් නියෝජනය කරමින් අසංක සමරසේකර මහතා මෙන්ම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චරිත යටගොඩ මහතා සහභාගී වූහ.