“Clean Sri Lanka” ජාතික වැඩසටහන යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් ක්‍රියාත්මක කරන ඉදිකිරීම් හා කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ කටයුතු ඊයේ (08) නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකල කාර්මික ජනපදයේ ඉංජිනේරු සංස්ථා කළමනාකරණ අංගනයේදී ආරම්භ කෙරිණි.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පූර්ණ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන 350ක් වටිනා යන්ත්‍ර සූත්‍ර හා භූමිය වෙන් කර තිබේ.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෙරසවි අංගන පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙම මධ්‍යස්ථානයේ පැයකට මෙට්‍රික් ටොන් 200ක ප්‍රතිචක්‍රීකරණ ධාරිතාවක් සහිත නවීන යන්ත්‍රාගාරයක්, විද්‍යාගාරයක් සහ පරිපාලන ගොඩනැගිල්ලක්ද ඉදි කර ඇත.
ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ඉන් රුපියල් මිලියන 150ක් මේ වන විට නිදහස් කර තිබේ.
බස්නාහිර පළාත තුළ පමණක් දිනකට ඉදිකිරීම් අපද්‍රව්‍ය ටොන් 300ක් පමණ එකතු වන අතර, මෙතෙක් අවිධිමත් ලෙස බැහැර කිරීමෙන් පාංශු හා ජල දූෂණය මෙන්ම ජල දූෂණය සහ ගංවතුර අවදානමද මතුවී තිබිණි.
නව තාක්ෂණය ඔස්සේ මෙම සුන්බුන් වටිනා අමුද්‍රව්‍ය බවට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
ඉදිරියේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨ සම්බන්ධ කර ගනිමින් පර්යේෂණ කටයුතු තවදුරටත් පුළුල් කිරීමටද සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික, “Clean Sri Lanka” ලේකම් කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කපිල සෙනරත්, අධ්‍යක්ෂ (පාරිසරික) අංජුල ප්‍රේමරත්න සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ඉංජිනේරු නෙරංජන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගී වූහ.


