යල් කන්නයට ප්‍රමාණවත් පොහොර තොග රට තුළ පවතින බවත් ඒවා ගොවි ජන මධ්‍යස්ථාන හරහා බෙදාහැරීම මේ වනවිට සිදුකරමින් ඇති බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
පොහොර සැපයීම, බෙදාහැරීම සහ නවීන පොහොර භාවිතය පිළිබඳව ඊයේ (08) ගන්නොරුව ජාතික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී පැවැති සාකච්ඡාවේදි අමාත්‍යවරයා මේ බව පැවසීය.
රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට මෙන්ම ගොවි ජනතාවගේ ජීවනෝපාය ශක්තිමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
පසුගිය දිනවල රජයේ ඉල්ලීමක් මත පෞද්ගලික අංශයේ පොහොර බෙදාහැරීම තාවකාලිකව නතර කර තිබුණද, යළිත් සුපුරුදු පරිදි පෞද්ගලික අංශය හරහා පොහොර බෙදාහැරීම ආරම්භ කිරීමට තීරණය කර ඇති බවද ඔහු පැවසීය.
ඇතැම් ප්‍රදේශවල බෙදාහැරීමේ ප්‍රමාදයන් පැවති බවත්, ඒවා විසඳීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට සකස් කර ඇති බවත් ඉදිරියේදී පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් ගැටලු ඇති නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ වනවිට මාස් කන්නයට අවශ්‍ය පොහොර සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවද මෙහිදි අමාත්‍යවරයා පැවසීය.
මාස් කන්නයට අවශ්‍ය පොහොර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය මේ වන විට ලැබි ඇති බවත් රජයේ පොහොර සමාගම් සහ පෞද්ගලික අංශය ඒ සඳහා මැදිහත්වී කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.
එමෙන්ම නව පරම්පරාවේ පොහොර භාවිතය සහ පස පරීක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. දිගු කාලයක් පසට එක්කර ඇති පෝෂක සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී පස පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොහොර යෙදීම තවදුරටත් පුළුල් කිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික පොහොර අවශ්‍යතාවය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ගොවිපොළ සහ අනෙකුත් ආයතන සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය, අවම යෙදවුම් භාවිතයෙන් වැඩි ඵලදායී අස්වැන්නක් ලබා ගැනීමේ ක්‍රමවේද, පොහොර ආනයන තොරතුරු සහ දැනට පවතින පොහොර තොග පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කෙරිණි. එමෙන්ම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු සහ මහවැලි අධිකාරිය විසින් ඉදිරිපත් කළ යෝජනා හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.


