රාජකීය ආසියාතික සමිතියේ ශාස්ත්‍රීය කටයුතු ශක්තිමත් කිරීමට රජයේ පූර්ණ සහාය

රාජකීය ආසියාතික සමිතියේ ශාස්ත්‍රීය කටයුතු ශක්තිමත් කිරීමට රජයේ පූර්ණ සහාය
  • SocialShare:

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ ප්‍රධාන නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගියදා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


මෙම අවස්ථාවට රාජකීය ආසියාතික සමිතියේ සම ලේකම් පූජ්‍ය ආචාර්ය වස්කඩුවේ සිරි සරණ ස්වාමීන්වහන්සේ, සභාපති ෂෙරීන් අමේන්ද්‍රා මහත්මිය, සම ලේකම් ආචාර්ය දිලිනි වනසුන්දර මෙනෙවිය, භාණ්ඩාගාරික මුදිත කරුණාමුනි මහතා සහ සහකාර ලේකම් ආචාර්ය සුමන්ත්‍රි සමරවික්‍රම මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.
1845 වසරේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ වර්තමාන ක්‍රියාකාරීත්වය, ඉදිරි සංවර්ධන වැඩසටහන් සහ එළඹෙන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
සමිතියේ පුස්තකාලය, විද්වත් සඟරාව සහ දේශනමාලා ඇතුළු ශාස්ත්‍රීය කාර්යභාරය පිළිබඳවද අවධානය යොමු වූ අතර, රජයේ වාර්ෂික ප්‍රදානය සහ ඉදිරි සහයෝගිතාව සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු විය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, තමන් වසර ගණනාවක සිට එම සමිතිය සමඟ පැවති සම්බන්ධතාව සිහිපත් කරමින්, එහි ඉදිරි ශාස්ත්‍රීය කටයුතු ශක්තිමත් කිරීම සඳහා රජයේ පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව අවධාරණය කළේය.