නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ හෙට සිට මෙහෙයුම් අරඹයි

නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ හෙට සිට මෙහෙයුම් අරඹයි
  • SocialShare:

නවීකරණය කරන ලද  කොළඹ කොටුව බස් නැවතුම්පොළෙහි  මෙහෙයුම් කටයුතු හෙට (08) සිට ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ  ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම බස් නැවතුම්පොළ නවීකරණය කර ඇත.

ගුවන් හමුදාපතිවරයා ඊයේ (06) මෙම බස් නැවතුම්පොළේ පළමු අදියරේ නවීකරණ කටයුතු නිරීක්ෂණය කිරීමටද එක්ව තිබේ.

පළමු අදියර යටතේ පවතින ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම, තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකිරීම, සනීපාරක්ෂක සංකීර්ණයක් ස්ථාපිත කිරීම, බස් රථ සඳහා බාහිර පේළිගත කිරීමේ ප්‍රදේශයක් සකස් කිරීම  ආදී සංවර්ධන කටයුතු ඇතුළත් වේ.

නවීකරණ කටයුතු අවසන් වූ පසු බිම් මහල බස් නැවතුම් අංගණය ලෙසත්, දෙවන මහල රියදුරු හා කොන්දොස්තර විවේකාගාර ලෙසත්, තෙවන මහල පරිපාලන හා මෙහෙයුම් කටයුතු සඳහාත් භාවිතා කළ හැකි මධ්‍යස්ථානයක් ලෙස ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

එළමෙන  සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය සඳහා විශේෂ ප්‍රවාහන සේවා ලබන 09 වන බ්‍රහස්පතින්දා සිට එම බස් නැවතුම්පොළෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අතිරේක බස් රථ 1500ක් පමණ යොදවා ඇති අතර, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් හැටන්, බදුල්ල, මහනුවර, බණ්ඩාරවෙල, අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය, හලාවත සහ පුත්තලම ඇතුළු ගමනාන්ත රැසකට බස් ධාවනය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.