ප්‍රමාණවත් ගබඩා පහසුකම් ඇත්නම් ගෑස් මිල ඉහළ දැමිය යුතු නැහැ - ඇමති විජිත

ප්‍රමාණවත් ගබඩා පහසුකම් ඇත්නම් ගෑස් මිල ඉහළ දැමිය යුතු නැහැ - ඇමති විජිත
  • SocialShare:

ශ්‍රී ලංකාවේ ගෑස් සහ තෙල් ගබඩා කිරීමේ පහසුකම් ප්‍රමාණවත් පරිදි පවතින්නේ නම් රජය යටතේ පාලනය වන ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට සිදු නොවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එසේම පොදුවේ එල්.පී ගෑස් මිල දර්ශකයේ වැඩිවීමක් සිදු වූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා සෞදි අරාබියේ ඇරැම්කෝ දර්ශකයේ මිල උච්චාවචනය ගෑස් මිල ඉහළ යාමට සෘජුව බලපාන බවත් පෙන්වා දුන්නේය.තවද මෙම අගය මාර්තු මාසයේ පැවතියේ ගෑස් මෙට්‍රික් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 541.25ක් බවත් අප්‍රේල් මාසය වනවිට එය ඇමරිකානු ඩොලර් 787.50ක් දක්වා මිල ඉහළ ගිය බවත් හෙතෙම සඳහන් කළේය.මෙම මිලවැඩිවීම ලාෆ් සමාගමට මෙන්ම ලිට්‍රෝ සමාගමට ද බලපාන බව පැවසූ අමාත්‍යවරයා මෙම මුදල සමග සැසඳීමේදී ලාෆ් සමාගමේ පිරිවැය සැකසීමට අනුව ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1070කින් ඉහළ දැමීමට සිදු වුවද ලිට්‍රෝ සමාගම මිල වැඩි කර ඇත්තේ රුපියල් 775කින් පමණක් බව පෙන්වා දුන්නේය.නමුත් ලිට්‍රෝ සමාගමට සිලින්ඩරයක සෘජු පිරිවැය රුපියල් 985ක් වන අතර සමාගම එම සම්පූර්ණ මුදලම වැඩි නොකරන බවත් පෙන්වා දුන්නේය.
එසේම ගෑස් මිලදී ගැනීම සඳහා පෙර පැවති ඕමාන සමාගම වෙනුවට නව ටෙන්ඩරය ලබා ගෙන ඇත්තේ ජියෝ ගෑස් සමාගම බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම සමාගම ඇමරිකානු සමාගමක් බැවින් ගැටලුවකින් තොරව ප්‍රවාහන කටයුතු සිදු කළ හැකි බව පැවසීය.සියයට 80ක් ඇමරිකාවෙන් සහ ඉතිරි සියයට 20 දකුණු අප්‍රිකාවෙන් ලබා ගන්නා බැවින් මෙම යුදමය වාතාවරණය හමුවේ ගෑස් ප්‍රවාහනය ගැටලුවකින් තොරව සිදු කිරීමට හැකි වූ බවද හෙතෙම සඳහන් කළේය.
මේ වනවිට ගැස් ප්‍රවාහනය කරන නෞකාව මගින් ගෑස් මෙට්‍රික්ටොන් 22,00ක් මාලදිවයිනේ සමාගමක ගබඩා කර දින තුනකට වරක් මෙට්‍රික් ටොන් 3900 බැගින් දිවයිනට රැගෙන එන බවද හෙතෙම කීය.මේ හේතුවෙන් ඉදිරියේදී ප්‍රමාණවත් ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීමට රජය බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.