ලෝක අර්බුද මැද වැඩ වර්ජනවලට යාමෙන් වළකින්න – අමාත්‍ය නලින්ද ජයතිස්ස

ලෝක අර්බුද මැද වැඩ වර්ජනවලට යාමෙන් වළකින්න – අමාත්‍ය නලින්ද ජයතිස්ස
  • SocialShare:

ලෝක අර්බුදයක් පවතින මෙවැනි අවස්ථාවක සංකේත වැඩ වර්ජනවලට යාමෙන් වළකින ලෙස කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ලෝකයේ බලශක්ති සැපයුම් දාමයට බලපෑම් එල්ල වී  ඇති  මොහොතක මනුෂ්‍යත්වයෙන් තොරව , අනීතික ලෙස වැඩ වර්ජන සිදු කිරීම පිළිබඳ සලකා බැලිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම රජය විසින් විධිමත් වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරමින් පවතින බවත්, එළඹෙන මැයි 10 වනවිට වෛද්‍යවරුන් 6,000කට ආසන්න සංඛ්‍යාවක් ස්ථානමාරු කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

මෙම නව ක්‍රියාවලිය මගින් පෙර කාලයේ අසාධාරණයට ලක්වූ වෛද්‍යවරුන්ට සාධාරණයක් ඉටුවන බවත්, දිගුකාලීනව එකම ස්ථානවල රැඳී සිටීම වැනි අක්‍රමිකතා නතර කිරීමට මෙය උපකාරී වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

තවද, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්නායක 7ක් මත පදනම්ව දුෂ්කර සේවා ලැයිස්තුවක් සකස් කර ඇති අතර, එම ක්‍රියාවලියට වෘත්තීය සංගම් සම්බන්ධ කර ගැනීම අවශ්‍ය නොවන බවද ඔහු අවධාරණය කළේය.