ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අවශ්‍ය උපකරණ හා මානව සම්පත් හිඟය පිරවීමට පියවර – සෞඛ්‍ය ඇමති

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අවශ්‍ය උපකරණ හා මානව සම්පත් හිඟය පිරවීමට පියවර – සෞඛ්‍ය ඇමති
  • SocialShare:

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට අවශ්‍ය උපකරණ සහ මානව සම්පත් හිඟය පිරවීමට රජය කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව පියවරක් ලෙස මීරිගම මූලික රෝහල තුළ ජාතික මට්ටමේ වකුගඩු ගල් සැත්කම් සඳහා යොමු කිරීමේ මධ්‍යස්ථානයක් (National Referral Center for Kidney Stone Surgery) ස්ථාපිත කිරීමේ “Establishment of a high-volume stone center” ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

පසුගිය (29) දින රෝහල් ශ්‍රවණාගාරයේදී පැවති මෙම සාකච්ඡාවේදී, නවීන තාක්ෂණයෙන් සමන්විත අධි-ධාරිතා ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීම, එය මුළු දිවයිනටම සේවාව සපයන ජාතික මට්ටමේ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සහ ව්‍යාපෘතියේ මෙහෙයුම්, නඩත්තුව හා තිරසාරභාවය තහවුරු කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. එමෙන්ම රෝගීන්ගේ පොරොත්තු ලේඛන අවම කිරීම ද මෙහි ප්‍රධාන අරමුණක් ලෙස සඳහන් විය.

මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම මඟින් මීරිගම ප්‍රදේශයට පමණක් නොව, ජාතික වශයෙන් සියලුම රෝගීන්ට කඩිනම් සහ ගුණාත්මක වකුගඩු ගල් ප්‍රතිකාර සේවාවන් ලබාදීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම, මෙම ව්‍යාපෘතිය ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ සහය ද අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා රෝහලේ නිරීක්ෂණයකද නිරතව, චීන රජයේ ආධාර යටතේ ඉදිකර ඇති මහල් තුනකින් යුත් ගොඩනැගිලි සංකීර්ණය, ශල්‍යාගාර, බාහිර රෝගී අංශය සහ වාට්ටු සේවාවන් මෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතුද පරීක්ෂා කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා, විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය, වෛද්‍ය චමින්ද ප්‍රේමරත්න මහතා ඇතුළු සෞඛ්‍ය අංශයේ නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන්, හෙද සේවකයින් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.