තරුණ තරුණියන් සහතික වලට පමණක් සීමා නොකර, ආර්ථිකයට සෘජුව දායක වන වෘත්තිකයින් ලෙස ගොඩනගීම රජයේ ප්‍රධාන අරමුණ බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පවසයි.
ජාතික යොවුන් සේනාංකයට අයත් කතරගම හෝටල් පුහුණු පාසලේ ගෘහපාලන (Hotel Housekeeping – NVQ Level 3) පාඨමාලාව සාර්ථකව නිම කළ පුහුණුලාභීන් 41 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කිරීම සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහි පුහුණුව ලබාගත් තරුණ තරුණියන් 41 මේ වනවිටත් රැකියාගතව සිටීමෙන් ජාතික යොවුන් සේනාංකයේ වෘත්තීය පුහුණුවීම්වල ඇති ඉහළ ප්‍රමිතිය සහ ප්‍රායෝගිකත්වය පැහැදිලි වන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කළේය.
මෙරට සංචාරක කර්මාන්තය සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින අවධියක, ඊට සරිලන ජාත්‍යන්තර මට්ටමේ වෘත්තිකයින් බිහිකිරීමේ විශාල වගකීමක් ඇති බවත් මෙවැනි වෘත්තීය පුහුණු වැඩසටහන් තවදුරටත් දීපව්‍යාප්තව පුළුල් කිරීමට කටයුතු කරන බවද පැවසීය.
හෝටල් ක්ෂේත්‍රයට පිවිසීමට කැමති වයස අවුරුදු 18ත් 28ත් අතර තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් නොමිලේ නවාතැන් සහ ආහාර පහසුකම් සහිතව මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
2014 වසරේදී දඹුල්ලෙන් ආරම්භ වූ මෙම සාර්ථක හෝටල් පුහුණු පාසල් ව්‍යාපෘතියේ මීළඟ අදියර ලෙස දඹුල්ල දිගම්පතහ නව හෝටල් පුහුණු පාසල ද මේ වසරේ නුදුරේදීම විවෘත කිරීමට නියමිත බව ජාතික යොවුන් සේනාංකය පවසයි.
මෙම සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල, සභාපති නලින් රදම්පල, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහත්වරුන් ඇතුළු ආරාධිතයන් පිරිසක් සහභාගී වූහ.


