ගෝලීය බලශක්ති අර්බුදය සහ පවතින වියළි කාලගුණය හමුවේ ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්

ගෝලීය බලශක්ති අර්බුදය සහ පවතින වියළි කාලගුණය හමුවේ ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්
  • SocialShare:

ගෝලීය බලශක්ති අර්බුදය සහ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන මෙන්ම රටේ සමස්ත පුරවැසියන් ද වගකීමෙන් යුතුව දායක විය යුතු බව මහාචාර්ය  චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කරයි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ රාජ්‍ය ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල ඉන්ධන හා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

අමාත්‍යවරයා සඳහන් කළේ, වර්ෂාව අඩුවීම හේතුවෙන් ඉදිරියේදී ජල හිඟයක් ඇති විය හැකි බැවින් එයට මුහුණ දීම සඳහා රාජ්‍ය අංශයේ උපරිම දායකත්වය අත්‍යවශ්‍ය බවයි. එමෙන්ම මෙම අභියෝගය ජය ගැනීම සඳහා සමස්ත පුරවැසියන්ගේ සහයෝගයද ඉතා වැදගත් බවද ඔහු පැවසීය.

“ගෝලීය බලශක්ති අර්බුදය සමනය වන තෙක් රටක් සහ ප්‍රජාවක් ලෙස අප සැවොම මෙම අරපිරිමැස්මේ වැඩපිළිවෙළට අනුගත විය යුතුයි. නිවසේ අනවශ්‍ය විදුලි බල්බ නිවා දැමීමත්, ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමත් සෑම පුරවැසියෙකුගේම වගකීමක්,” යැයි අමාත්‍යවරයා පැවසීය.

දැනට රට තුළ නියඟ තත්ත්වයක් සහිත උණුසුම් කාලගුණයක් පවතින අතර, වර්ෂාපතනය පිළිබඳවද යම් අස්ථිරතාවයක් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය. එබැවින් ජලය සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.

විශේෂයෙන්ම වීදි ලාම්පු භාවිතයේදී විදුලිය ඉතිරි කරගැනීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා පැවසීය. සමහර ස්ථානවල වීදි ලාම්පු ඉතා කලින් දල්වීම හේතුවෙන් විදුලිය වැඩිපුර පාවිච්චි වන බව හඳුනාගෙන ඇති බවත්, එම නිසා ඒවා දල්වන කාලය සුළු වශයෙන් ප්‍රමාද කිරීම මඟින් විදුලිය ඉතිරි කරගත හැකි බවත් ඔහු කියා සිටියේය. එමෙන්ම උදෑසන වන විට වීදි ලාම්පු නිවා දැමීම සඳහා නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බවද සඳහන් කළේය.

ඊට අමතරව රාජ්‍ය ආයතනවල අනවශ්‍ය විදුලි පංකා හා විදුලි ලාම්පු නිවා දැමීම, විදුලි සෝපාන (lifts) භාවිතය හැකි තරම් සීමා කිරීම සහ වෙළඳ ප්‍රචාරක පුවරු සඳහා විදුලිය භාවිත කරන කාලය අඩු කිරීම වැනි ක්‍රියාමාර්ග ගත යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ගෘහස්ථ ජල පරිභෝජනය පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා, වාහන සේදීම වැනි කටයුතු සඳහා පිරිසිදු පානීය ජලය භාවිත කිරීමෙන් වැළකී, එය අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් භාවිත කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.

“ලෝකයේ පවතින මෙම අභියෝගාත්මක තත්ත්වය සමනය වන තෙක් රටක් ලෙසත්, එක් ප්‍රජාවක් ලෙසත් අප සැවොම එකට එක්ව ජලය හා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට කටයුතු කරමු,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.