ඉන්දියාව–ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා පුළුල් කිරීමට අවධානය

ඉන්දියාව–ශ්‍රී ලංකාව අතර  ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා පුළුල් කිරීමට අවධානය
  • SocialShare:

ඉන්දියාව සහ මෙරට අතර පවතින ද්විපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනු තවදුරටත් පුළුල් කිරීමත් ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කිරීමත් සමබන්ධව අවධානය යොමු විය.

ඊයේ (27) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධව සාකච්ඡා කෙරෙිණි.

නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සහ ඒවා දිරිමත් කිරීම, දෙරටේම ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සහයෝගීතාවයෙන් කටයුතු කිරීම මෙන්ම සමුපකාර ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් අන්‍යෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා විය.

ශ්‍රී ලංකාවේ සහල් වෙළෙඳපොළ තත්ත්වය සහ මිල පාලනය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර සහල් මිල පාලනය කර තිබුණද සම්බා වැනි විශේෂ සහල් වෙළෙඳපොළ හිඟයක් පවතින බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රජයට සහල් මෙට්‍රික් ටොන් 300,000ක් පමණ කළමනාකරණය කළ හැකි නම් මිල ස්ථාවර කරගත හැකි බවද හෙතෙම අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිෂ්පාදන ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වාදීමට, ප්‍රදර්ශන සහ වෙළෙඳ අවස්ථා සකස් කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කළේය. විශේෂයෙන් තේ සහ ඇඟලුම් ක්ෂේත්‍ර සඳහා ඉන්දියාවේ ඉහළ ඉල්ලුමක් පවතින බවද පැවසීය.

ඉන්දියාවේ ගොවීන්ගේ ආදායම සුරක්ෂිත කිරීමට අවම සහතික මිලක් යටතේ වී මිලදී ගැනීම් සිදුකෙරෙන බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ පනත යටතේ අධික තොග රැස්කිරීම් පාලනය කරන බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා පැවසීය.

එමෙන්ම Food Corporation of India (FCI) ආයතනය මගින් ක්‍රියාත්මක කරන විශාල ගබඩා පද්ධතිය සහ “Buffer Stock” ක්‍රමවේදය පිළිබඳවද මහ කොමසාරිස්වරයා පැහැදිළි කළේය.

එවැනි පද්ධතියක් ශ්‍රී ලංකාව තුළද ස්ථාපිත කිරීම සඳහා තාක්ෂණික සහයෝගය ලබාදීමට ඉන්දියාව සූදානම් බවද මෙහිදී පැවසීය.