ඉදිරියේදී ජල හා වායු තත්ව පර්යේෂණ වැඩසටහන් මෙරට ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා විය.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ චීන පාරිසරික විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ (RCEES) අධ්‍යක්ෂ මහාචාර්ය Yuansong Wei මහතා අතර අද (27) කෑගල්ලේදී පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වි තිබේ.
චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ ජල තාක්ෂණ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය එක්ව ජල තත්ව පර්යේෂණයන් හා වායු තත්ව පර්යේෂණයන් සාර්ථක ලෙස සිදු කිරීමට නියමිතය.
දෙරට අතර පාරිසරික තිරසාරත්වය ඉදිරියට ගෙන යාම, විද්‍යාත්මක හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සහ ජලයේ හා එසැණ දත්ත ගවේෂණය පිළිබඳ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය මෙම සාකච්ඡාවේදී යොමු විය.
විශේෂයෙන් චීන විද්‍යා පර්යේෂණ ආයතනය සහ JRDC එක්ව ජල තත්ව හා වායු තත්ව පර්යේෂණ කටයුතු සිදු කිරීමේ ප්‍රගතිය පිළිබඳව අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කෙරිණි.
තවද, දේශගුණික වෙනස්වීම්වලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම, ජලයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීම සහ ඒ සඳහා චීන–ශ්‍රී ලංකා හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.
එම අවස්ථාවට ශ්‍රී ලංකා ඒකාබද්ධ ජල තාක්ෂණ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ (JRDC) නිළධාරීන්, එම ආයතනයේ මෙරට අධ්‍යක්ෂ ආචාර්ය මදුභාෂිණී මාකෙහෙල්වල මහත්මිය සහ පරිසර අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.


