පාසල් පන්ති කාමරය තුළ සිදු කරන අධ්‍යාපනයට මෙන්ම සමාජ ආශ්‍රයෙන් ලබන ප්‍රායෝගික අධ්‍යාපනයටද මූලිකත්වය දීම තුළින් සෑම අතින්ම පරිපූර්ණ වූ සිසුන් බිහිකිරීමට හැකිවන බවත්, විවිධ සම්ප්‍රදායන් හා සංස්කෘතීන් සිසුන්ට තේරුම් ගැනීමට අවස්ථාව සලසා දෙමින් එකිනෙකා සමග සහයෝගයෙන් වැඩකිරීම සඳහා මෙවැනි වැඩසටහන් උපකාරී වන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.
ජපාන - ආසියානු පැසිෆික් ළමා සමුළුවේ ශිෂ්‍ය කණ්ඩායම් හුවමාරු වැඩසටහන වන Bridge Challenge Trip - 2026 සමාරම්භක උත්සවයට අදජ(27) එක්වෙමින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මේ බව පැවසීය.
"සාමය සහ සහජීවනය" තේමා කරගනිමින් ජපානයේ ෆුකෝකා නගරයේ පැවැත්වෙන ආසියානු පැසිෆික් ළමා සමුළුව මගින් ජාතීන් අතර මිත්‍රත්වය හා සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා සිසුන්ට අවකාශය සලසාදීම අරමුණ කෙරෙන අතර එම සමුළුවේ සාමාජිකත්වය දරන රටවල් අතුරින් තෝරාගත් රටවල් කිහිපයකට ජපාන සිසුන් යැවීම වාර්ෂිකව සිදු කරනු ලබයි.
මෙවර එම වැඩසටහන සඳහා සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව ද තේරී පත්වී ඇත. ඒ හරහා මෙරටට පැමිණෙන ජපාන ශිෂ්‍ය කණ්ඩායම අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සත්කාරක පවුල් තුළ නැවතී සිටිමින් ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන රටා, සංස්කෘතීන්, චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව අධ්‍යාපනයක් ලබා ගැනීමට නියමිත ය.
පෙර වර්ෂවලදී ආසියානු පැසිෆික් ළමා සමුළුවට සහභාගී වූ ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගෙන් සමන්විත බ්‍රිජ් ක්ලබ් ශ්‍රී ලංකා සමාජයේ සාමාජිකයින් එක්ව මෙම වැඩසටහන පැවැත්වේ.
මෙහිදී පැමිණ සිටි ජපාන සිසු සිසුවියන් අමතමින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මෙසේ කියා සිටියේ ය.
මෙවැනි වැඩසටහන් තුළින් ළමයින්ට වෙනත් රටක, ගෙදරක, සංස්කෘතියක ඇති අලුත් දේවල් රැසක් ඉගෙන ගැනීමට හැකිවෙනවා. අප රටට පැමිණි මෙම ජපන් ශිෂ්‍යයන්ට අපගේ සත්කාරක පවුල් තුළ නැවතී සිටින විට ඒ පිළිබඳව අත්දැකීම් ලබාගන්න පුළුවන්. ලංකාව කියන්නේ ජෛව විවිධත්වයෙන් සපිරි රටක්. ඒ වගේම ලංකාව කියන්නේ ආගන්තුක සත්කාරවලින් ද පිරි රටක්. ඒ නිසා ඒ දේවල් විඳගන්න. ජපානයට ආවේණික විවිධ ශිල්ප ක්‍රම, සමාජය හා බද්ධ වූ සංස්කෘතීන් පිළිබඳවද ඔබට හමුවන ශ්‍රී ලාංකික සිසුන්ට කියා දෙන්න.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සත්කාරක පවුල්වල සාමාජිකයින්, ශ්‍රී ලංකා බ්‍රිජ් ක්ලබ් සංගමයේ සාමාජිකයින් සහ ජපන් සිසුන්ගේ භාරකරුවන් පිරිසක් සහභාගී වූහ.


