මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට අඛණ්ඩ හා විශ්වාසදායී බලශක්ති සැපයුමක් තහවුරු කිරීම සඳහා ගත හැකි සියලු පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය Roman Marshavin ප්‍රමුඛ දූත පිරිසක් සමඟ අද (26) පැවති සාකච්ඡාවකදීය.
රුසියානු සමූහාණ්ඩුව සමඟ ඛනිජ තෙල් සහ ගල් අඟුරු ලබාගැනීම සම්බන්ධයෙන් පවතින සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යාම මෙහි ප්‍රධාන අරමුණ විය. එහිදී කෙටි කාලීන බලශක්ති අර්බුදය නිරාකරණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මෙන්ම දිගුකාලීනව දෙරට අතර බලශක්ති සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳවද අවධානය යොමු විය.
බොරතෙල් සැපයීමට අමතරව පෙට්‍රල්, ඩීසල් සහ ගුවන්යානා ඉන්ධන වැනි පිරිපහදු කළ ඉන්ධන ශ්‍රී ලංකාවට සැපයීමේ හැකියාව පිළිබඳවද රුසියානු දූත පිරිස කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය පොහොර සැපයීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වූ අතර, නව තෙල් පිරිපහදු සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ඇති හැකියාව පිළිබඳව රුසියානු දූත පිරිස විසින් විමසා තිබේ.
මෙම හමුවට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


