බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වන වතු ප්‍රජාව සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් “මලෛයග මහිල්චිචි” වැඩසටහන යටතේ ක්‍රියාත්මක නව නිවාස ව්‍යාපෘතියකට මුල්ගල් තැබීම අද (26) දින සිදු කෙරිණි.
මෙම ව්‍යාපෘතිය යටතේ කනවරැල්ල වතුයායේ අවදානම් පවුල් 12කට නව නිවාස ඉදි කිරීමට නියමිත අතර, ඒ සඳහා රජය විසින් රුපියල් මිලියන 38.4ක මුදලක් වැය කිරීමට සැලසුම් කර තිබේ.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්ථයක් කරමින්, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක “ආපදා නිවාස වැඩසටහන” යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
එසේම, දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පූර්ණ හානිවූ නිවාස සඳහා නැවත නිවසක් ඉදිකිරීම සඳහා රජය විසින් ලබාදෙන ලක්ෂ 50ක වන්දි මුදලේ පළමු වාරිකය වන ලක්ෂ 20ක චෙක්පත් ප්‍රතිලාභීන් 03 දෙනෙකුට මෙහිදී ප්‍රදානය කරන ලදී.
තවද, අර්ධ වශයෙන් හානිවූ නිවාස අලුත්වැඩියා කිරීම සඳහා රජය විසින් ලබාදෙන වන්දි මුදල් යටතේ ප්‍රතිලාභීන් 12 දෙනෙකුටද චෙක්පත් ප්‍රදානය කෙරිණි.
මෙම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සමඟ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් මහතා, පස්සර ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, පස්සර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිලාභී පවුල් සහ සාමාජිකයින් රැසක් සහභාගී වූහ.


