මැදපෙරදිග රටවල රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම සඳහා රජය විසින් විශේෂ පියවර රැසක් ගෙන ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසීය.
මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් “විවිධ සමාජ ස්ථරයන් සඳහා සුබසාධනය සැලසීම සඳහා වන කමිටුව” ඊයේ (17) රැස් වූ අතර, එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් කළමනාකරණය කිරීම සහ ජනතාවගේ සුබසාධන අවශ්‍යතා අඛණ්ඩව සපුරාලීම සඳහා කෙටි කාලීන හා දිගුකාලීන සැලසුම් පිළිබඳව කමිටුවේ අවධානය යොමු විය.
එමෙන්ම දේශීය ජීවනෝපාය ආරක්ෂා කිරීම සඳහා ස්වයං රැකියා සහ ගෘහ කර්මාන්තවල නියුතු පිරිසට ඇතිවිය හැකි බාධා අවම කිරීම, දරුවන් සඳහා සුරක්ෂිත ගමනාගමන පහසුකම් සැපයීම, ළමා හා කාන්තා රැකවරණ මධ්‍යස්ථාන සහ වැඩිහිටි හා ආබාධිත ප්‍රජාව සඳහා වන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
තවද, හදිසි අවස්ථාවන්ට පෙර සූදානමක් ලෙස අවශ්‍ය දත්ත පද්ධති යාවත්කාලීන කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.


