'ජාතික නාමල් උයන' ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව පසුගියදා (16) අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
රෝස තිරුවාණා කඳුවැටියට අනන්‍ය වූ ඛනිජ හා විද්‍යාත්මක වටිනාකමින් යුතු ලක්ෂණ, විශේෂිත වියළි කලාපීය වනාන්තර පරිසර පද්ධතිය සහ පුරාණ බෞද්ධ ආරාමවල භූ දර්ශන යන සියලු සාධක දිගුකාලීන සංස්කෘතික සම්බන්ධතා සමඟ සම්බන්ධ වී භූවිද්‍යාත්මක, පාරිසරික සහ සංස්කෘතික උරුම වටිනාකම්වල දුර්ලභ එකතුවක් ලෙස සලකමින් ජාතික නාමල් උයන, ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම යෝග්‍ය බව ශ්‍රී ලංකාවේ ජාතික උරුම හඳුනා ගැනීම සඳහා වන විද්වත් අනු කමිටුව විසින් නිර්දේශ කර ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම නා වනාන්තරය ලෙස සැලකෙන, සංරක්ෂිත වනාන්තරයක් බවට ප්‍රකාශයට පත් කොට ඇති, හෙක්ටයාර 602ක පමණ භූමි ප්‍රමාණයක පැතිරී පවතින 'ජාතික නාමල් උයන', ශ්‍රී ලංකාවේ වැදගත්ම හා ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත. නාමල් උයනෙහි පිහිටි රෝස තිරුවාණා කඳුවැටිය ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් භූ‑ස්වභාවික උරුමයක් වේ.


