ප්‍රදේශයට ආවේණික කුළුබඩු නිෂ්පාදන සංවර්ධනය කිරීම සහ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම අරමුණින් පොකුරු ගම්මාන වැඩසටහන ආරම්භ කරන බවත්, එමඟින් අපනයන කෘෂිබෝග විදේශ වෙළඳපොළ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් සකස් කිරීමට හැකි වන බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
කුළුබඩු ආශ්‍රිත පොකුරු ගම්මාන වැඩසටහනේ සමාරම්භය ඊයේ (10) කෑගල්ලේදී ආරම්භ වූ අතර එම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළේය.
මෙම වැඩසටහන මඟින් අපනයන කෘෂිබෝග විදේශ වෙළඳපොළ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් සැකසීම, ඒවායේ ගුණාත්මක තත්ත්වය උසස් මට්ටමක පවත්වා ගැනීම සහ ප්‍රදේශයට ආවේණික කුළුබඩු නිෂ්පාදන සංවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ.
මෙම වසර තුළ දිවයින පුරා පොකුරු ගම්මාන 200ක් ආරම්භ කිරීමට නියමිත අතර 2030 වනවිට එම සංඛ්‍යාව ගම්මාන 500ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම 2030 වනවිට කුළුබඩු අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අරමුණ වේ.
කුළුබඩු කර්මාන්තයේ නියැලෙන වගාකරුවන්, නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් එකට එක්කර සාමූහික කණ්ඩායම් ලෙස ගොඩනඟා ශ්‍රී ලංකාවේ කුළුබඩු නිෂ්පාදනවල අනන්‍යතාවය විදේශ වෙළඳපොළ තුළ තහවුරු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් ලෙස දැක්වේ.
මෙම වැඩසටහන යටතේ තෝරාගත් ගම්මානවල අපනයන කෘෂි නිෂ්පාදන සමිති පිහිටුවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට නියමිත අතර පළමු වසර දෙක තුළ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සහ මූලික වගා තාක්ෂණය වගාකරුවන් වෙත ලබාදීම සිදු කෙරේ. ඉන් අනතුරුව ගුණාත්මකභාවය ඉහළ නැංවීම, සහතිකකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන කරා යොමු කිරීමත් පසුව විදේශ වෙළඳපොළ සමඟ සම්බන්ධීකරණය කිරීමත් සිදු කිරීමට නියමිතය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේ මෙම වැඩසටහන සඳහා රජය විසින් රුපියල් මිලියන 1200ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදල ජනතාවගේ සංවර්ධනය සඳහා ප්‍රයෝජනවත් ලෙස යොදා ගනිමින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම අභියෝගයක් බවයි. ගොවි ජනතාවගේ දුප්පත්කම අඩු කිරීම සහ රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම රජයේ ප්‍රධාන වගකීමක් බවද ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාවේදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා ද අදහස් පළ කරමින් රට ආර්ථික වශයෙන් ගොඩනඟමින් පවතින මෙම අවස්ථාවේ අපනයන කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා මෙවැනි වැඩසටහන් වැදගත් වන බව සඳහන් කළේය. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයට මෙම පොකුරු ගම්මාන ව්‍යාපෘතිය ලැබීම ඓතිහාසික අවස්ථාවක් බවද ඔහු අවධාරණය කළේය.


