ශ්‍රී ලංකාව මුහුණ දෙන විවිධ අභියෝග හමුවේ ජපානය ලබා දෙන නොසැලෙන සහයෝගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇගයීමට ලක් කළේය.
ජපාන ජාතික දින සැමරුම් උත්සවය ඊයේ (25) කොළඹදී පැවති අතර එහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එයට එක්වෙමින්,මෙම ඇගයීම සිදුකළ අතර ශ්‍රී ලංකා රජය සහ මෙරට ජනතාව වෙනුවෙන් ජපානය වෙත සුබපැතුම් එක් කළේය.
විශේෂයෙන්ම මෑතකදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දිට්වා ආපදා තත්ත්වය හමුවේ සහන සේවා සඳහා ජපානය ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මූල්‍ය ප්‍රදානය සහ එරටින් එවනු ලැබූ හදිසි වෛද්‍ය කණ්ඩායම, දෙරට අතර පවතින මානුෂීය බැඳීම සහ ශක්තිමත් හවුල්කාරිත්වය මනාව පිළිබිඹු කරන බව වැඩිදුරටත් අවධාරණය කළේය.
1972 වසරේදී ආරම්භ වූ 'නොරිටාකේ' (Noritake) හවුල්කාරිත්වයෙන් ඇරඹි ජපන් ආයෝජන ප්‍රවාහය, දශක පහකට වැඩි කාලයක් පුරා ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. අද වන විට ජපානය ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන (FDI) සපයන ප්‍රමුඛතම රටක් බවට පත්ව ඇත. ආර්ථික ක්ෂේත්‍රයට අමතරව, ආරක්ෂක ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය, සංස්කෘතික සබඳතා ආදී විවිධ අංශ ඔස්සේ මෙම සහයෝගීතාවය මේ වන විට පුළුල් වී ඇත.
ඉදිරි වසරවලදී ද ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින මෙම සබඳතාවය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ද, එමඟින් දෙරටටම පොදු ප්‍රතිලාභ රැසක් අත්වනු ඇතැයි ද විශ්වාසය පළ කරයි.


