පුත්තලම දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර බෙදාදීම ඇරඹේ

පුත්තලම දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර බෙදාදීම ඇරඹේ
  • SocialShare:

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ඉලක්කය යථාර්ථයක් කරමින්, අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ගැටලු විසඳීම සඳහා ක්‍රියාත්මක “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන ඊයේ (25) දින රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දිස්ත්‍රික්ක 13ක් මුල් කරගනිමින් අද දින ආරම්භ වූ දීප ව්‍යාප්ත වැඩසටහනේ එක් අදියරක් වන මෙය, නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කර තිබේ.

මෙම වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 125 දෙනෙකුට නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කෙරුණු අතර, 2026 වසර තුළ ග්‍රාම නිලධාරී වසම් 548ක් ආවරණය වන පරිදි නිවාස 491ක් ඉදිකිරීමට අපේක්ෂා කර ඇත. ඒ සඳහා රුපියල් මිලියන 491ක මුදලක් වෙන් කර ඇති අතර, එක් ප්‍රතිලාභියෙකු සඳහා රුපියල් මිලියනයක (ලක්ෂ 10ක) මූල්‍ය ආධාරයක් ලබා දෙනු ඇත.

මෙම වැඩසටහන යටතේ වර්ග අඩි 550කට නොඅඩු ස්ථීර නිවසක් ඉදිකිරීම මූලික ඉලක්කය වන අතර, නිවාස ඉදිකිරීම ප්‍රතිලාභීන් විසින් සිදු කරනු ලබයි. එම නිවාසවල ප්‍රමිතිය සහ තාක්ෂණික මාර්ගෝපදේශ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තාක්ෂණික නිලධාරීන් විසින් සපයනු ලබන බව සඳහන් වේ.

ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුල්, කාන්තා මූලික පවුල්, ආබාධිත හෝ නිදන්ගත රෝගීන් සහිත පවුල් සහ පාසල් යන වයසේ දරුවන් වැඩි පිරිසක් සිටින පවුල් සඳහා මෙම වැඩසටහනේදී ප්‍රමුඛතාවය ලබා දී ඇත.

ජාතික නිවාස වැඩසටහන – 2026 යටතේ දිවයින පුරා නිවාස 31,218ක් ඉදිකිරීමට රජය අපේක්ෂා කරන අතර, මෙවැනි ඉතිරි නිවාස අවශ්‍යතාව 2027 සිට 2029 දක්වා වසර තුනක් ඇතුළත සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් ගිහාන්, මොහොමඩ් ෆයිසල්, ගයාන් ජනක කුමාර යන මහත්වරු ඇතුළු දිස්ත්‍රික් මහජන නියෝජිතයින්, පුත්තලම දිස්ත්‍රික් ලේකම්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ නිවාස ප්‍රතිලාභීන් රැසක් සහභාගී වූහ.