“නිවාස ඉදිකිරීම සඳහා ලබා දෙන ලක්ෂ 10ක මුදල, ණයක් නොව ආධාරයක්” -අමාත්‍ය වසන්ත සමරසිංහ

“නිවාස ඉදිකිරීම සඳහා ලබා දෙන ලක්ෂ 10ක මුදල, ණයක් නොව ආධාරයක්” -අමාත්‍ය වසන්ත සමරසිංහ
  • SocialShare:

තමන්ගේම නිවසක් ඇති කර ගැනීම සඳහා රජය ලබා දෙන රුපියල් ලක්ෂ 10ක මුදල ණයක් නොව ආධාර මුදලක් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන යටතේ පවුල් 125ක් වෙත චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයට ඊයේ (25) එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

නිවසක් ඉදිකිරීම යනු වැසි හා සූර්යයෙන් ආරක්ෂා වීම පමණක් නොව, තමන්ගේ ජීවිත හීන සැබෑ කර ගැනීමක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පමණක් රුපියල් මිලියන 694ක ආයෝජනයකින් නව නිවාස 694ක් ඉදිකිරීමට කටයුතු යොදා ඇති බවද ඔහු පැවසීය.

2026 වසර අවසන් වන විට දිවයින පුරා පවතින ග්‍රාම නිලධාරී වසම් 14,016ක් ආවරණය වන පරිදි නිවාස 9,700ක් ඉදිකර අවසන් කිරීම මෙම වැඩපිළිවෙලේ ජාතික ඉලක්කය වන අතර, ඒ සඳහා රුපියල් මිලියන 9,700ක් වෙන් කර ඇති බවද සඳහන් කෙරිණි.

නිවාස ප්‍රතිලාභීන් අමතා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22ක ග්‍රාම නිලධාරී වසම් 694කදී මෙම වැඩසටහන අධීක්ෂණය කර සත්‍යයෙන්ම නිවාස අවශ්‍යතාව ඇති සුදුසුම පවුල් තෝරාගෙන ඇති බවයි.

නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා දෙන නිල සැලසුමට අනුව නිවාස ඉදිකළ යුතු අතර, තමන්ට හැකියාව ඇත්නම් කාමර සංඛ්‍යාව වැඩි කර ගැනීමටද අවස්ථාව ඇති බවත්, එහෙත් මාස හතරක් ඇතුළත නිවස ඉදිකර අවසන් කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.