ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 ඔක්තෝබර් මස සිට මේ දක්වා සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් 404ක් සිදුකර, ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 07කට ආසන්න විදේශ විනිමය සෘජුවම උපයා එය ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට හැකි වී ඇති බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය.
ඊයේ (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් සමඟ ගිවිසුම්ගතව, වෙළඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු 2025 ඔක්තෝබර් මස 03 වන දින නාවික හමුදාව විසින් ස්වාධීනව යළි ආරම්භ කරන ලදී. එතැන් සිට ගත වූ මාස හතරක කාලය තුළ සිදු කළ මෙහෙයුම් හරහා මෙම විදේශ විනිමය ආදායම උපයා ගැනීමට හැකි වී ඇත.
නාවික හමුදාව සතුව දැනටමත් පවතින භෞතික හා මානව සම්පත් උපයෝගී කරගනිමින්, අවම අමතර පිරිවැයකින් මෙම සේවා පුළුල් කිරීමට හැකිවීම මෙම නව ක්‍රමවේදයේ විශේෂත්වයක් බවද නාවික හමුදාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
තවද, නෞකා ආරක්ෂක කණ්ඩායම් (Onboard Security Team - OBST) වෙනුවෙන් ගිනිඅවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අවි ගබඩා තුල ගබඩා කිරීම සහ එකී ගිනිඅවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග මෙහෙයුම් අවශ්‍යතා අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්‍ෂණය හා ආරක්‍ෂාව යටතේ විදේශීය පෞද්ගලික ආරක්‍ෂක සමාගම් වල දේශීය නියෝජිතයන් විසින් සපයනු ලබන වාහන හෝ යාත්‍රා උපයෝගී කර ගනිමින් ප්‍රවාහනය කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදුකරනු ලබන විදේශීය සමුද්‍රීය ආරක්‍ෂක සමාගම්හි දේශීය නියෝජියතයින් ගිවිසුම්ගතවීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මනා සැලසුමකින් සිදු කරන බව බුද්ධික සම්පත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


