රජය යටතේ යතිවර මාපිය නිවහන ජාතික වැඩසටහන දියත් කිරීමට ලැබීම භාග්‍යයක් බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් නෙසෙවි මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ යතිවර මාපිය නිවහන ජාතික වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
යතිවර මාපිය නිවහන ජාතික වැඩසටහන කැබිනට් තීරණයක් ලෙස අනුමත වූ බව සිහිපත් කළ අමාත්‍යවරයා මෙය බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියත් එක්ව සංවිධානය කරන වගකීම දරන ඉතාම වැදගත් ජාතික මට්ටමේ වැඩසටහනක් බවද පැවසුවේය.
බුද්ධශාසනය සඳහා දරුවන් පිදූ නිවසක් අහිමි අඩු ආදායම්ලාභී දෙමව්පියන්ට නිවසක් තනාදීම මෙම වැඩසටහනේ පරම අභිලාෂය බව පැහැදිලි කළේය. මේ සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ නිර්ණායක, ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රමවේදය, ඉන්පසු ප්‍රතිලාභ ලබාදෙන්නේ කෙසේද මෙන්ම නිවස සැලසුම් කිරීම ඉදිකිරීම අධීක්ෂණය සිදුවන්නේ කෙසේද ආදී තොරතුරු සියල්ල බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහත්මා චක්‍රලේඛයක් මගින් නිකුත් කර ඇතැයිද එහි ඉතා පැහැදිලිව තොරතුරු සියල්ල අන්තර්ගත වන බවද සඳහන් කළේය.
රජයක් හැටියට මෙය කළ යුතුම වැඩසටහනක් වශයෙන් විශ්වාස කරන බවද පැවසූ අමාත්‍යවරයා මෙම අමාත්‍යංශය මෙහෙයවීමේදී පසුගිය වසර පුරා මෙය තමාට සාක්ෂාත් වුණු එක් අවශ්‍යතාවයක් බවද අවධාරණය කළේය.
බුද්ධශාසන සභාව සමගද මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව පැවසූ අමාත්‍යවරයා බුද්ධශාසන සභාවෙන්ද පෙන්වා දුන්නේ මෙය ඉතා ප්‍රශස්ථ වැඩසටහනක් බවයි. එනම් නිවසක් නොමැති සිය දෙමව්පියන්ට නිවසක් ලැබීම හේතුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මහා සහනයක් ලැබෙන බවද සඳහන් කළේය.
ස්වාමීන් වහන්සේලා පැවිදි දිවියට ඇතුලු වී වසර 05ක් සම්පූර්ණ වීම මෙහිදී එක් මූලික සුදුසුකමක් ලෙස සලකන බව පෙන්වාදුන් බුද්ධශාසන අමාත්‍යවරයා ඊට අමතරව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කරන අයදුම්පත් බෞද්ධ කටයුතු සමායෝජක හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා මගින් විහාරස්ථාන කරා යොමු වන බවද පැවසුවේය.
ඒ අනූව නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත්‍ර සැලකිල්ලට ගෙන ඉදිරිපත් කර ඇති සීමා මායිම්ද සැලකිල්ලට ගනිමින් තෝරා ගැනීම සිදුවන බවද සඳහන් කළේය.
මේ සඳහා රුපියල් ලක්ෂ 15ක ආධාරයක් පිරිනමන බවද පැවසූ අමාත්‍යවරයා ඊයේ සිට මෙම වැඩසටහන සම්බන්ධයෙන් ධනාත්මක සාකච්ඡා දියත්වනු දුටු බවද මෙය හැමදෙනාටම පිළිගත හැකි විශ්වාසවන්ත කාරණයක් බවද අවධාරණය කළේය.


