මොණරාගල මහ රෝහලේ නව පස් මහල් මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

මොණරාගල මහ රෝහලේ නව පස් මහල් මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට
  • SocialShare:

ඌව වෙල්ලස්ස ජනතාවට වඩාත් ගුණාත්මක හා උසස් සෞඛ්‍ය සේවාවක් සැපයීමේ අරමුණින් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අභිනවයෙන් ඉදිකරන ලද පස් මහල් මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනතා අයිතියට පත් කෙරිණි.

රුපියල් මිලියන 857කට අධික මුදලක් වැය කර ඉදිකර ඇති මෙම වාට්ටු සංකීර්ණයේ බිම් මහල හා පළමු මහල මාතෘ වාට්ටු සඳහාත්, දෙවන හා තෙවන මහල් කාන්තා ශල්‍ය වාට්ටු සඳහාත් වෙන් කර ඇත. සිව්වන මහලේ අති නවීන ශල්‍යාගාර හතරක් ස්ථාපිත කිරීමට නියමිත අතර, සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2,900කට අධික මුදලක් වැය කිරීමට අපේක්ෂා කෙරේ.

අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මොණරාගල, බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල ජනතාවට කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා අම්පාර මහ රෝහල, බදුල්ල ශික්ෂණ රෝහල සහ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල ඒකාබද්ධ සෞඛ්‍ය පද්ධතියක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම අතරමඟ නතර වී තිබූ ව්‍යාපෘති 69ක් හඳුනාගෙන ඇති බවත්, ඒවා අවසන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ලබන වසර තුළ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට නවීන CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමට සහ රුපියල් මිලියන 317ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.