නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ව්‍යාපාර ඉන්කියුබේෂන් මධ්‍යස්ථානය විවෘත කෙරේ

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ව්‍යාපාර ඉන්කියුබේෂන් මධ්‍යස්ථානය විවෘත කෙරේ
  • SocialShare:

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන රාජ්‍ය විශ්වවිද්‍යාල ආශ්‍රිත සේවා හා ආධාරක මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ තුන්වන Technology Business Incubation Center අද (04) මඩකලපුවේ පිහිටි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ පරිශ්‍රයේදී විවෘත කෙරිණි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථානය විවෘත කෙරිණි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය හා නැගෙනහිර විශ්වවිද්‍යාලය එක්ව නවීන පර්යේෂණ උපකරණ සහිතව ස්ථාපිත කර ඇති මෙම මධ්‍යස්ථානයේ අරමුණ වන්නේ විශ්වවිද්‍යාල පර්යේෂණ, නවෝත්පාදන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතර සම්බන්ධතා ගොඩනඟමින් කලාපීය ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමයි.

කෘෂිකර්ම, පශුසම්පත් සහ සාගර සම්පත් වැනි නැගෙනහිර පළාතේ ප්‍රමුඛ ක්ෂේත්‍රවලට නවීන විද්‍යා හා තාක්ෂණ දැනුම එක් කර අගය එකතු කළ නිෂ්පාදන බිහිකිරීම හා ඒවා වාණිජකරණය කිරීම සඳහා අවශ්‍ය සහාය මෙම මධ්‍යස්ථානය මඟින් ලබාදීමට නියමිතය.

එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රජාවට සහ කලාපීය ව්‍යවසායකයන්ට නවීන රසායනාගාර පහසුකම්, තාක්ෂණික උපදේශන සහ ව්‍යාපාරික මාර්ගෝපදේශ ලබාදීම හරහා පර්යේෂණ ප්‍රතිඵල ග්‍රාමීය ආර්ථික සංවර්ධනයට යොදාගැනීම අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මොහොමඩ් නවවී මහතා, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ.එස්. අරුල්රාජ් මහතා, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පී. පරතීපන් මහතා ඇතුළු නිලධාරීන්, විද්වතුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ ව්‍යවසායකයන් රැසක් එක්ව සිටියහ.