මීගමුව අධිකරණ සංකීර්ණය අසල, නව ජැටියක් සහ බෝට්ටු දියත් කිරීමේ අංගනයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම ඊයේ ( 17 ) ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලීංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
මෙම වැඩසටහන මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ , ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.
නව ජැටිය සහ බෝට්ටු දියත් කිරීමේ අංගනය වෙනුවෙන් ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 318.49ක් වන අතර එය වසරක කාලයකදී ඉදිකර අවසන් කිරීමටද නියමිතය .
මෙම නව ජැටිය සහ බෝට්ටු දියත් කිරීමේ අංගනය ඉදිකිරීම සඳහා විශේෂඥ තාක්ෂණික සහාය සහ උපදේශකත්වය සපයනු ලබන්නේ මොරටුව විශ්ව විද්‍යාලීය වාස්තු විද්‍යා පීඨයේ, ව්‍යාපෘති උපදේශන ඒකකය මගිනි.
සර්ව ආගමික පූජකවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලද මේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් ධීවර කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු , මීගමුව නගරාධිපති, රොබට් හීන්කෙන්ද , නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු සහ මීගමු ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි යන මහත්ම මහත්මීන් පිරිසක් ද එක්ව සිටියහ .


