මුල් ළමාවිය සංවර්ධනය ජාතියක අනාගතය ගොඩනගන ආයෝජනයක් - අධිකරණ අමාත්‍ය

මුල් ළමාවිය සංවර්ධනය ජාතියක අනාගතය ගොඩනගන ආයෝජනයක් - අධිකරණ අමාත්‍ය
  • SocialShare:

නීතියෙන් මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය නතර කළ හැකි වුවද ඉල්ලුම නැවැත්වීම සමාජයේ වගකීමක් වන බවත් මුල් ළමාවිය අසාර්ථක වුවන් බහුතරයක් බන්ධනාගාරගත වී සිටින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බන්ධනාගාරගත කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (4) එක්වෙමිනි.
මෙම වැඩසටහන මඟින් පෙර පාසැල් ගුරුවරුන් 15 දෙනෙකු පුහුණු කිරීමට නියමිත අතර, මුලික පියවර ලෙස වැලිකඩ බන්ධනාගාරගතවූ කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5 ට අඩු දරුවන් වෙනුවෙන් එම බන්ධනාගාර පරිශ්‍රය තුළ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කෙරේ.
ළමා කාලය යනු මිනිස් ජීවිතයේ අතිශය සංවේදී, අතිශය වටිනා සහ අනාගතය තීරණය කරන අවධිය වන බවත් විද්‍යාත්මක පර්යේෂණ අනුව පුද්ගලයෙකුගේ මොළයේ සංවර්ධනයෙන් විශාල කොටසක් සිදුවන්නේ ජීවිතයේ මුල් වසර පහ තුළ බැවින් මුල් ළමාවිය සංවර්ධනය යනු අධ්‍යාපන ප්‍රතිපත්තියක් පමණක් නොව, ජාතියක අනාගතය ගොඩනගන ප්‍රධාන ආයෝජනයක් බවත් එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.
ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මුල් ළමා විය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලය, ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ.