“යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන මඟින් සසුන්ගත වූ භික්ෂූන් වහන්සේලාගේ නිවසක් නොමැති දෙමාපියන් සඳහා සුවපහසු, අංගසම්පූර්ණ නිවසක් ඉදිකිරීමට රුපියල් මිලියන 1500ක මුදලක් වෙන් කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙම වැඩසටහන යටතේ එක් පවුලක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබා දෙන අතර, එම මුදල නැවත අය නොකරන ප්‍රදානයක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම 2026 වසර තුළ පවුල් 1000ක් සඳහා ප්‍රතිලාභ ලබාදීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.
මුදල් ප්‍රතිපාදන බුද්ධශාසන අමාත්‍යාංශය හරහා ලබාදෙන අතර, ප්‍රතිලාභී පවුල් තෝරා ගැනීමද එම අමාත්‍යාංශය මඟින් සිදු කරනු ලැබේ. ප්‍රදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන බුද්ධශාසන අමාත්‍යාංශ නියෝජිතයින් වන බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් මඟින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිටින භික්ෂූන් වහන්සේලාගේ දෙමාපියන් හඳුනා ගැනීම සිදු කෙරේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් තාක්ෂණික දායකත්වය සහ අධීක්ෂණ කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තවද, 2026 අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ නිවසක් නොමැති පවුල් සඳහා නිවාස ඉදිකිරීමට රජය දායක විය යුතු පාර්ශව රැසක් හඳුනාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය. ඒ අතර අඩු ආදායම්ලාභී පවුල්, නිවසක් නොමැති ආබාධිත ප්‍රජාව, වැඩිහිටි ප්‍රජාව, මලෙයිගම් ප්‍රජාව සහ උතුරු හා නැගෙනහිර යුද්ධය හේතුවෙන් අවතැන් වූ ප්‍රජාවද ඇතුළත් වන අතර, ඔවුන් සඳහාද නිවාස ඉදිකිරීමට රජය දායකත්වය ලබාදෙන බව වැඩිදුරටත් සඳහන් කළේය.


