ශ්‍රී ලංකාවේ සමුද්‍ර පද්ධති සුරක්ෂිත කිරීමේ නව යුගයක් සනිටුහන් කරමින්, 'සමුද්‍ර දේශීය හවුල්කාරිත්ව වැඩසටහනේ' (OCPP) පස්වන සංවත්සරය ඊයේ (09) කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණ.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේ දී, පසුගිය වසර පහක ප්‍රගතිය ආවර්ජනය කිරීමට මෙන්ම මෙරට අනාගත දේශගුණික හා පාරිසරික ප්‍රමුඛතා සඳහා උපායමාර්ගික පදනමක් සැකසීමට පිළිබඳ කරුණු සාකච්ඡා විය.
මෙහිදී එක්සත් රාජධානියේ පවුම් මිලියන 54ක ‘Blue Planet’ අරමුදල යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා ජාතික ප්‍රතිපත්ති සහ විද්‍යාත්මක ක්‍රියාකාරකම් අතර පවතින පරතරය අවම කිරීමට ලබා දෙන නොසැලෙන සහයෝගය පිළිබඳව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සිය හෘදයාංගම ස්තූතිය පුද කළේය.
පසුගිය පස් වසරක කාලය තුළ OCPP වැඩසටහනේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමුද්‍ර විද්‍යාව සහ පාරිසරික කළමනාකරණය සඳහා වූ එහි විස්තීර්ණ ප්‍රවේශය මත වන අතර විවිධ උපායමාර්ගික මුලපිරීම් හරහා සමුද්‍ර රක්ෂිත ප්‍රදේශ කළමනාකරණය විධිමත් කිරීමට මෙමඟින් හැකි වී ඇත. එමඟින් මෙරට පොහොසත් ජෛව විවිධත්වය ආරක්ෂා කරනවා පමණක් නොව එම සම්පත් මත යැපෙන දේශීය ප්‍රජාවන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමටද විශාල දායකත්වයක් ලැබී ඇත.
එමෙන්ම දේශගුණික විපර්යාසවල බලපෑම්වලට අනුවර්තනය වීමට අවශ්‍ය මෙවලම් සහ දැනුම ලබා දීම මඟින්, දේශගුණික සාධක ජාතික ප්‍රතිපත්තිවලට ඇතුළත් කිරීමටත්, එමඟින් ජනතාව සහ පරිසරය වඩාත් හොඳින් ආරක්ෂා කිරීමටත් මෙම වැඩසටහන සමත්ව තිබේ. මීට අමතරව, තීරණ ගැනීමේ ක්‍රියාවලියට දේශීය ප්‍රජාවන් සහභාගී කරවා ගැනීම හරහා ස්වභාවික සම්පත් කෙරෙහි ඔවුන් තුළ වගකීමක් සහ හිමිකාරීත්වයක් ඇති කිරීමටද OCPP වැඩසටහන ප්‍රමුඛත්වය ලබා දී ඇත.
මෙහිදි අදහස් දැක්වූ පරිසර අමාත්‍යවරයා මෙම ජයග්‍රහණයන් සියල්ල පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා වූ කැපවීමේ ප්‍රතිඵලයක් බවත් OCPP හරහා ඇති කරගත් හවුල්කාරිත්වයන් සාගර සෞඛ්‍යය පිළිබඳ තීරණාත්මක විද්‍යාත්මක අධ්‍යයනයන්ට මඟ පෑදූ බවත්, එම දැනුම සාක්ෂි මත පදනම් වූ තිරසාර තීරණ ගැනීමට අත්‍යවශ්‍ය වන බවත් පෙන්වා දුන්නේය.
මෙම පස් වසරක සැමරුම හුදෙක් එක් සන්ධිස්ථානයක් පමණක් වන අතර ශ්‍රී ලංකාවේ දේශගුණික ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙම පදනම ශක්තිමත් කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය . ඒ සඳහා රජය, පෞද්ගලික අංශය, සිවිල් සමාජය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් අතර අඛණ්ඩ සහයෝගීතාවයේ අවශ්‍යතාවයද මෙහිදී පෙන්වා දුන්නේය.
සාගරයේ සෞඛ්‍යය අපගේ ප්‍රජාවන්ගේ යහපැවැත්ම සමඟ නොවෙන් කළ හැකි ලෙස බැඳී පවතින බවත්, අනාගත පරපුරට වඩාත් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් උරුම කර දීම සැමගේ වගකීමක් බවටත් මෙහි දී අදහස් පළ විය.
OCPP වැඩසටහනේ අධ්‍යක්ෂවරයා විසින් පසුගිය පස් වසරක ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදි.
මෙම අවස්ථාවට, පරිසර අමාත්‍යාංශයේ ලේකම්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇතුළු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී සහ මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


