ශ්‍රී ලංකාවේ ප්‍රධානතම, පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය (Cancer Early Detection Center – CEDC) ඊයේ (09) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ නව මුහුණුවරකින් විවෘත විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලද මෙම මධ්‍යස්ථානය, ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ (OPD) බෝවන රෝග සායන ගොඩනැගිල්ලේ පළමු මහලේ ස්ථාපිත කර ඇත.
මෙම මධ්‍යස්ථානයෙන් පියයුරු, ගැබ්ගෙල සහ මුඛ පිළිකා වර්ග මූලිකව පරීක්ෂා කිරීමට අවධානය යොමු කරනු ලබයි. රෝගීන් හඳුනාගත් වහාම කඩිනම් ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍ය සායන වෙත යොමු කිරීමේ ක්‍රමවේදයක් ද මෙහි ක්‍රියාත්මක වේ.
රජයේ නිවාඩු දින හැර, සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා මෙම පරිශ්‍රය මහජනතාව සඳහා විවෘතව පවතී.
දැනට යාපනය, මඩකලපුව, බදුල්ල, රත්නපුර සහ මාතර යන රෝහල් ආශ්‍රිතව පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන 05ක් ක්‍රියාත්මක වේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ රෝගීන් පමා වී ප්‍රතිකාර සඳහා පැමිණීම පාලනය කර මරණ සංඛ්‍යාව අවම කිරීමයි.


