සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවට ගංගාරාමය අවට විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක්

සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවට  ගංගාරාමය අවට විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක්
  • SocialShare:

එළඹෙන පෙබරවාරි 04 වැනිදා ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා පෙබරවාරි 05 වැනි දින උදෑසන සිට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සහ ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.

 මෙම ශ්‍රී සර්වඥ ධාතූ ප්‍රදර්ශනය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බැවින් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති ආරක්ෂක වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා ඇත.

දේශීය හා විදේශීය බැතිමතුන් විශාල සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගී වීමට අපේක්ෂා කරන බැවින්, ගැටකපන්නන් සහ සොරුන් වැනි අපරාධකරුවන් ප්‍රදේශය ආශ්‍රිතව ගැවසිය හැකි බව පොලීසිය අවධාරණය කරයි. ඒ හේතුවෙන් මුදල් පසුම්බි, රන් ආභරණ සහ පුද්ගලික දේපළ සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

ජංගම දුරකථන, ගමන් මළු, ජැකට් සහ විද්‍යුත් උපකරණ සර්වඥ ධාතූ ප්‍රදර්ශන කුටිය තුළට රැගෙන නොයා යුතු බවත්, සෝදිසි කිරීම් සහ පරීක්ෂා කිරීම් සඳහා ආරක්ෂක අංශ වෙත අවශ්‍ය සහය ලබාදෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම රථවාහන ධාවනයේදී නියමිත නීතිවලට අනුගතව කටයුතු කරන ලෙසත්, රථවාහන නවතා තැබීම සඳහා නියමිත ස්ථාන සහ රථගාල් පමණක් භාවිතා කරන ලෙසත් පොලීසිය දැනුම් දෙයි. විශේෂ ප්‍රවාහන පහසුකමක් ලෙස පැරණි MOD භූමියේ රථගාල, පෝර්ට් සිටි රථගාල සහ ෂැංග්‍රිලා හෝටලය අසල රථගාලවල සිට ගංගාරාම විහාරස්ථානය දක්වා Shuttle සේවාවක් යෙදවීමට කටයුතු කර ඇත.

මෙම කාලය තුළ විහාරස්ථානයට ආසන්න මාර්ග කිහිපයක් වසා තැබෙන අතර, බර වාහන සඳහාද විශේෂ සීමා පැනවෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මීට අදාළ මාර්ග සිතියම් පහත දැක් වේ.

Screenshot 2026 02 02 104102

Screenshot 2026 02 02 104143 02

Screenshot 2026 02 02 104239 03