නවතා තිබූ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරනවා – කැබිනට් ප්‍රකාශක

නවතා තිබූ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරනවා – කැබිනට් ප්‍රකාශක
  • SocialShare:

2011 සිට 2014 දක්වා කාලය තුළ ආරම්භ කර අවසන් කිරීමට නොහැකි වූ සංවර්ධන ව්‍යාපෘති හැකි ඉක්මනින් අවසන් කිරීමට රජය කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදීයෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මීට වසර 12කට පමණ පෙර මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවල ජනතාවට ගොඩින් සහ මඬින් ඉඩම් ලබා දී ඇති බවත්, එම ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස ජල හිඟය සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල සැපයුම පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

එම අවශ්‍යතා සපුරාලීම සඳහා නවතා තිබූ කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 23,456ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, 2031 වසර වන විට ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

තවද, 2020, 2021 සහ 2022 වර්ෂවල පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙවැනි තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් නවතා තිබූ බවත්, ඒවාද කඩිනමින් නැවත ආරම්භ කිරීමට රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.