ශ්‍රී ලංකා රේගුව විසින් කඩිනම් නිශ්කාශන ගාස්තුවක් ලෙස අය කරන ලද ආනයනික මැණික් පාර්සලයකට ඇමරිකානු ඩොලර් 200ක විශේෂ සේවා ගාස්තුව 2026 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එස්. පී. චමින්ද මහතා පවසයි.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා මේ බව පැවසුවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ කරුණු සම්බන්ධයෙන් අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මැණික් ආනයනය කිරීමේදී පනවනු ලබන වැට් සහ SSCL අගයන් තක්සේරු කරන ක්‍රමය වෙනස් කර ආනයනය කරන පුද්ගලයන්ට එදාට වඩා සහනයක් ලබාදීමට කටයුතු කර ඇතැයිද වැඩිදුරටත් පැවසුවේය. 2023,2024 සහ 2025 කාල වලදී මැණික් ආනයනය ඉතා අඩු මට්ටමක පැවති බවද මේ නිසා අපනයනයටද විශාල බලපෑමක් සිදුවූ බවද පැවසුවේය.
අපනයනයට අවශ්‍ය රළු මැණික් 2023ට පෙර වෙනත් රට වලින් ලංකාවට රැගෙන ආ බවද එලෙස රැගෙන ආ ප්‍රමාණය වැට් එක හදුන්වා දීමත් සමග ඉතා විශාල වශයෙන් අඩුවූ බවද පැවසුවේය. 2024 ජනවාරි 01 සිට ආනයනය කරන මැණික් පාර්සලයේ ඇති මැණික් වල වටිනාකමට 18%ක් වැට් එක වශයෙන්ද 2.5%ක් SSCL ලෙසද ගණනය කළ බවද පැවසුවේය. එම අයකිරීම වටිනාකම මත පදනම් වන බවද පෙන්වා දුන්නේය.
පසුගිය කාලයේ පැවති වැටි සමග සැසඳීමේදී මෙම ගාස්තු අඩු කිරීම හේතුවෙන් ඉතා සුළු මුදලකට ආනයන සිදු කිරීමට හැකි වී ඇතැයිද අනයනය කරන මැණික් වලට පනවන බදු ඉතාමත් ලිහිල් සහ සරල කර ඇතැයිද එමනිසා කිසිදු කෙනෙකුට මැණික් ගෙන්වීමේදී මැණික්වල වටිනාකම සහ අයකරන බදු සම්බන්ධයෙන් අපහසුතාවයකට පත් නොවන බවද ඕනම කෙනෙකුට පසුගිය කාලයට සාපේක්ෂව සුළු මුදලකට අපනයනය කළ හැකි බවද පෙන්වා දුන්නේය.
2024, 2025 කාලය තුළ මෙම කර්මාන්තය සෙමින් තායිලන්තය, හොංකොං සහ ඩුබායි වැනි වෙනත් රටවලට යාමට පටන් ගත් බවද මෙලෙස ආනයන දිරිමත් කිරීමටහේතු වූයේ එම කාරණය බවද සිහිපත් කළේය.බ්ලූ සෆායා වැනි මැණික් මෙරට ඉතාම ජනප්‍රිය වීමත්, පිටරට ගැණුම්කරුවන් ලංකාවේ මැණික් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවද පැවසූ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ඉදිරියට ගෙනයාමට අවැසි නිසා මෙම තීරණ ගත් බවද සදහන් කළේය.
ලෝකයේ ඇති මැණික් ප්‍රදර්ශන සම්බන්ධ දින දර්ශනයට මෙරට මැණික් ප්‍රදර්ශන ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන බවද මැණික් සංගම් එකතු කරගනිමින් මහා පරිමාණ අන්තර්ජාතික මැණික් ප්‍රදර්ශනයක් ලංකාව තුළ පැවැත්වීමට සූදානම් කරගෙන ඇතැයිද මෙම ප්‍රදර්ශනය ලෝකයේ ඇති මැණික් ප්‍රදර්ශන සම්බන්ධ දින දර්ශනයට ඇතුලත් කර සිදුකිරීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් පැවසුවේය.


