සර්වඥ ධාතු වන්දනාව පෙබරවාරි 04–11 දක්වා හුණුපිටිය ගංගාරාමයේදී

සර්වඥ ධාතු වන්දනාව පෙබරවාරි 04–11 දක්වා හුණුපිටිය ගංගාරාමයේදී
  • SocialShare:

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට වැඩම වීමට නියමිත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව පෙබරවාරි 04 සිට 11 දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ලබන පෙබරවාරි 04 දින මෙම ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීමටත්, එදින සිට පෙබරවාරි 11 දක්වා ගංගාරාම විහාරස්ථානයේදී බැතිමතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීමට රජය සැලසුම් කරමින් සිටින බවයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම දුර්ලභ අවස්ථාව ජනතාවට හිමිව ඇති බවත්, ඒ අනුව සර්වඥ ධාතු වන්දනා කටයුතු රාජ්‍ය අනුග්‍රාහය යටතේ සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සර්වඥ ධාතු වන්දනාවට අදාල කාලසටහන ඇතුළු අනෙකුත් විස්තර ඉදිරියේදී මහජනතාවට දැනුම් දීමට නියමිත බවද ඔහු පැවසීය.