සම්බා වී කිලෝග්‍රෑම් 1ක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 125 සිට 130 දක්වාත්, කීරි සම්බා වී කිලෝග්‍රෑම් 1ක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 132 සිට රුපියල් 140 දක්වාත් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද(13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වී අළෙවි මණ්ඩලය විසින් 2025 යල කන්නයේදී නාඩු, සම්බා සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් 1ක් පිළිවෙලින් රුපියල් 120, රුපියල් 125 සහ රුපියල් 132 ලෙස මිලදී ගත් බවද ඔහු පැවසීය.
ඉදිරි කන්නවලදී සම්බා සහ කීරි සම්බා වී වගා කිරීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම වී වර්ග මිලදී ගැනීම සඳහා දැනට පවතින අවම මිල ගණන් ඉහළ නැංවීම සුදුසු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කළ මිල කමිටුව නිර්දේශ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එම නිර්දේශ මත පදනම්ව, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව විසින් නියමිත ප්‍රමිතියෙන් යුත් නාඩු වී කිලෝග්‍රෑම් 1ක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 120 ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ඔහු පැවසීය.
වී මිලදී ගැනීමේ අවම මිල ඉහළ දැමුවද, එය සහල් මිල ඉහළ යාමට හේතු නොවන බවද කැබිනට් ප්‍රකාශකවරයා අවධාරණය කළේය.


