ආරෝග්‍යා ජංගම සෞඛ්‍ය සායනය අඹගස්වැව දී

ආරෝග්‍යා  ජංගම සෞඛ්‍ය සායනය අඹගස්වැව දී
  • SocialShare:

සුවපත් රටක් උදෙසා "Healthy Sri Lanka" වැඩසටහන යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායනය වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් පසුගියදා කුරුනෑගල අඹගස්වැව මහා විද්‍යාලයයේදී දවස පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

මෙරට සියලු ජනතාවට ශාරීරික සහ මානසික නීරෝගි ජිවිතයක් ගත කිරීමට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් පැවැත්වෙන මෙම ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන සෑම සති අන්තයකම දුෂ්කර ප්‍රදේශවල ජනතාව ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.

මෙහි දී අක්ෂි සායනය, සුවනාරි සායනය, දන්ත සායනය,  දියවැඩියා සායනය, රුධිර පීඩන පරීක්ෂාව, ECG පරීක්ෂාව, දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, කොලෙස්ට්‍රෝල් පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව,  ආයුර්වේද වෛද්‍ය සායනය, මානසික උපදේශක සේවා, ඖෂධ ලබාදීම, සහ පෝෂණවේදී උපදෙස් ලබාදීම  ඇතුළු වෛද්‍ය සායන රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා පැමිණිසිටි පිරිස අමතමින් මේ වන විට ආරෝග්‍යා සෞඛ්‍ය මධ්‍යස්ථාන 100 ක් වත්මන් අමාත්‍යවරයාගේ උපදෙස්මත  පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකිවූ බව පැවසීය.

එමෙන්ම ඉදිරියේදී එවැනි මධ්‍යස්ථාන 2000 ස්ථාපිතකර  අවට ජනතාව එමහ මධ්‍යස්ථානවලට යොමුකිරීමෙන් බෝ නොවන රෝග ඇකුළු රෝගවලින් ආරක්ෂා කිරීම හා අවශ්‍ය ප්‍රතිකාර මෙන්ම දැනුවත්භාවයද ලබා දීමට කටයුතුකරන බවද පැවසීය.  එම ජනතාව  ජීවිත කාලයටම සමීපව රැක බලා ගැනීමද මේ යටතේ සිදු කරන බව ද ඒමහතා වැඩිදුරටත්  පැවසීය.

අඩු ආදායම්ලාභී ප්‍රජාවට වියලි ආහාර මළු බෙදාදීම ආදී ප්‍රජා සත්කාර ගණනාවක් ද  මෙහි දී  සිදුවිය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවත්ති හා ප්‍රචාරණ අංශය සංවිධානය කරනුලබන මෙම වැඩසටහන් මාලාවේ මීලඟ ආරෝග්‍යා ජංගම සායනය නොවැම්බර් 12 දින රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේදී සහ  නොවැම්බර් 19 දින තැපැල් මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.