රජයේ දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ක්‍රියාවලිය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්, රැකියා පුහුණු හා රැකියාගත කිරීමේ වැඩසටහන්, මනෝසමාජීය සවිබලගැන්වීමේ වැඩසටහන් පමණක් නොව, අවවරප්‍රසාදිත පවුල් සඳහා මූලික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව, "සුවපහසු නිවසක් – සවිබලැති පවුලක්" නිවාස වැඩසටහන යටතේ නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් සඳහා 2025–2026 ප්‍රතිපාදන මත එක් නිවසක් සඳහා රුපියල් මිලියනය බැගින්, සමස්ත රුපියල් මිලියන 1020ක වියදමින් නිවාස 1020ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.
මේ වන විට දිවයින පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි නිවාස 896ක ඉදිකිරීම් ආරම්භ කර ඇත. 2026 වර්ෂය අවසන් වන විට නිවාස 1020ම ඉදිකර ප්‍රතිලාභීන් වෙත භාරදීමට සැලසුම් කර ඇත.
ඒ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දැතව ග්‍රාම නිලධාරී වසමේ ඉදිකරන ලද නිවසක් ප්‍රතිලාභියා වෙත භාරදීම අඹන්පොල ප්‍රාදෙශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.


