මෙම වසරේ එකොළොස් වෙනි ජාතික අනතුරු නිවාරණ සතිය අදින් ඇරඹෙන බවද අද සිට 10 වනදා දක්වා අනතුරු නිවාරණ සතියේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සඳහන් කරයි.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා මේ බව සදහන් කළේ ජාතික අනතුරු නිවාරණ සතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මෙරට ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව අනතුරු බව පෙන්වා දුන් ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා විවිධ හේතු නිසා පුද්ගලයන්ට අනතුරු සිදුවන බවද පැවසුවේය. රජයේ රෝහල් වල වැඩි වශයෙන් නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට රෝගීන් පැමිණෙන්නේ අනතුරු නිසා බවද එම ප්‍රමාණය වසරකට මිලියන 1.35ක් පමණ වන බවද පැවසුවේය.
අනතුරු හේතුවන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැරීමට සිදුවන වැයබර අධික වන බැවින් අනතුරු අවම කරගැනීමට කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය. දළ වශයෙන් මරණ 8000 – 10000ක ප්‍රමාණයක් සෑම වසරකම අනතුරු හේතුවෙන් වාර්තා වන බවද සදහන් කළේය. ඒ අතර රථවාහන අනතුරු ප්‍රධාන තැනක් ගන්නා බවද ඊට අමතරව දියේ ගිලීම්, වැටීම්, සතුන් පහරදීම්, සතුන් සපා කෑම්, විවිධ දේවල් ඇඟට වැටීම්, විෂ වීම්, පුද්ගල පහරදීම්, සියදිවි හානි කරගැනීම්, විදුලි සැර වැදීම් වැනි විවිධ හේතු නිසා අනතුරු සිදුවන බවද අවධාරණය කළේය.
නිවෙස් සහ නිවෙස් ආශ්‍රිතව සිදුවන අනතුරු නිසා 50%කට වැඩි ප්‍රමාණයක් රෝහල්ගත වන බවද පැවසූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා ආර්ථික ඵලදායී වයස් කාණ්ඩවල පුද්ගලයින් අනතුරු වලට ලක්වීම රටේ ආර්ථිකයට මෙන්ම සංවර්ධනයට බලපාන බවද පෙන්වා දුන්නේය.
මෙම වසරේ ජාතික අනතුරු නිවාරණ සතියට සමගාමී වනදා 06 වනදා මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන්ද, 07 වනදා වෘත්තීය සෞඛ්‍ය හා අනතුරු සම්බන්ධයෙන්ද, 08 වනදා ගෘහ සහ වැඩිහිටි ආරක්ෂාව සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බව පැවසූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා 09 වනදා දියේ ගිලීම් සම්බන්ධවද 10 වනදා දරුවන් සම්බන්ධයෙන් සිදුවන අනතුරු වලට අදාළව ළමා නිවාස, පෙර පාසල් සහ පාසල් ආශ්‍රිතව වැඩසටහන් සංවිධානය කර ඇතැයිද පැවසුවේය.


