අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජූලි 9, කළුතර බෝධිය අභියසදී

අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජූලි 9, කළුතර බෝධිය අභියසදී
  • SocialShare:

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්ම රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ජූලි 9 වැනිදා පස්වරු 3.00ට කළුතර බෝධිය අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත, දර්ශනපති, පූජ්‍ය බලපිටියේ සිරිසීවලී නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම වසරේ ජනවාරි 1 වැනිදා ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනායක හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේදී කළ ඉල්ලීමකට අනුව මෙම උපසම්පදා මහෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට සැලසුම් කර ඇති බවද උන්වහන්සේ පැවසූහ.

උපසම්පදා විනය කර්ම මහෝත්සවය ජූලි 9 සිට 22 දක්වා කළුතර කළු ගඟේ ස්ථාපිත උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙන අතර, සාමණේර හිමිවරුන් 400කට අධික පිරිසක් ඊට සහභාගි වීමට නියමිතය.

වසර තුනකට වරක් පැවැත්වීමට නියමිත මෙම රාජ්‍ය උපසම්පදා විනය කර්මය මෙවර පැවැත්වෙන්නේ වසර නවයකට පසුව වීම විශේෂත්වයකි.

ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ පෞද්ගලික ආයතන රැසක සහාය ඇතිව මෙම මහෝත්සවය සංවිධානය කෙරෙන අතර, සැදැහැති බෞද්ධ ජනතාවට ඊට සහභාගි වන ලෙසද පූජ්‍ය බලපිටියේ සිරිසීවලී නාහිමියෝ ආරාධනා කළහ.