බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරුන්ගේ හිඟය පිළිබඳ අග්‍රාමාත්‍යතුමියගේ අවධානයට

බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරුන්ගේ හිඟය පිළිබඳ අග්‍රාමාත්‍යතුමියගේ අවධානයට
  • SocialShare:

වත්මන් රජය ය‍ටතේ ආගමික අධ්‍යාපනයට මෙන්ම සෞන්දර්යය විෂයන්ද කිසිදු අයුරකින් කප්පාදු කිරීමක් නොකරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන ආචාර්ය හරිනී අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කරන ලදි.

බුද්ධ සාසන කාර්ය සාධක බලකාය සාමාජිකයින් වන රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, ඇතුලු ගිහි පැවිදි සාමාජිකයින් සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය පසුගියදා(19) සාකච්ඡාවක නිරත වූ අතර එම සාකච්ඡාවේදී අගමැතිවරිය මේ බව අවධාරණය කළාය.

එමෙන්ම නව විෂය නිර්දේශය යටතේ බුද්ධ ධර්මය පෙළ පොතේ අඩංගු කරුණු පිළිබඳව බුද්ධ සාසන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් කරන ලද විමසීමක දී ආගමික හා සාරධර්ම ශාඛාවේ අධ්‍යක්ෂතුමිය ප්‍රකාශ කර සිටියේ 2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සමගාමීව 6 ශ්‍රේණියේ පළමු මොඩියුලයේ පළමු පාඩම තුළින් සියලු ආගම් පිළිබඳ මූලික අවබෝධයක් සියලු දරුවන්ට ලබා දීමට අපේක්ෂිත බවත්, ඉන්පසුව තමන්ගේ ආගම පිළිබඳ අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබෙන බවත්ය.

එසේම බුද්ධ ධර්මය විෂය ඉගැන්වීමේ ගුරුවරුන්ගේ හිඟය පිළිබඳවත් අවධානය යොමු වූ අතර ඒ සඳහා පිළියමක් වශයෙන් අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය ප්‍රකාශ කර සිටියේ මේ දිනවල සියලු පළාත් ආවරණය වන පරිදි ගුරුවරුන්ගේ තොරතුරු රැස්කරමින් සිටින බවත්, ඉන්පසුව විධිමත් සැලස්මකට අනුව ගුරුවරුන් බඳවා ගැනීම හා අනුයුක්ත කිරීම මගින් ගුරු තුලනය කිරීම සිදු කරන බවයි