ශ්‍රී ලංකා-ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නියෝජිත පිරිසක් ඉන්දීය සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකා-ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නියෝජිත පිරිසක් ඉන්දීය සංචාරයක නිරත වෙයි
  • SocialShare:

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක සහ ශ්‍රී ලංකා-ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් 2025 අගෝස්තු 26 සිට 30 දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙති.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය. සුන්දරලිංගම් ප්‍රදීප්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ රවුෆ් හකීම්, රවී කරුණානායක. ජී.ජී. පොන්නම්බලම්, සිවඥානම් ශ්‍රීදරන්, ජේ.සී. අලවතුවල, (වෛද්‍ය) කාවින්ද හේෂාන් ජයවර්ධන තනුර දිසානායක, රුවන්තිලක ජයකොඩි සුනිල් බියන්විල, රියාස් ෆාරුක්, නීතිඥ හිරුණි විජේසිංහ, අම්බිකා සාමිවෙල්, දේවානන්ද සුරවීර, චන්දිම හෙට්ටිආරච්චි, චම්පික හෙට්ටිආරච්චි, සුදත් බලගල්ල, ගයාන් ජානක යන මහත්ම මහත්මීහු දූත පිරිසට අයත් වෙති. එසේම  පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, මහජන සම්බන්ධතා නිලධාරී වයි. එල්. රිෂ්මියා නූටාන් , පාර්ලිමේන්තු නිලධාරී (ප්‍රොටෝකෝල කාර්යාලය) ජී. ජී. සී. එල්. බී. ගලංග සහ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ කළමනාකරණ සහකාර ඩබ්ලිව්.ආර්.ඒ. කෝෂිකා සජීවනි යන මහත්ම මහත්මීහූද මේ අතර වෙති.

ලෝක් සභාව සහ රාජ්‍ය සභාව සමඟ සම්බන්ධවී කටයුතු කිරීම, සභා ගර්භ සහ පාර්ලිමේන්තු පුස්තකාලය නිරීක්ෂණය, ඉන්දියානු මාධ්‍යයේ කාර්යභාරය, පාර්ලිමේන්තු කාරක සභා  පද්ධතිය, උසස් අධ්‍යාපනය, මහජන සෞඛ්‍ය, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාර ධර්ම වැනි ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා දූත පිරිස සඳහා සංවිධානය කර තිබූ වැඩසටහනට ඇතුළත් විය. නියෝජිත පිරිස සෞඛ්‍ය විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre for Excellence in Health) නිරීක්ෂණය කළ අතර ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FICCI) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ද සාකච්ඡාවකට එක්වූහ.

සංචාරය අතරතුර ඉන්දීය ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා මහතා  සමඟ පැවති හමුව විශේෂිත වූ අතර, ඔහු ශ්‍රී ලංකා දූත පිරිස උණුසුම් ලෙස පිළිගත්තේය. මෙහිදී  ගරු කථානායක ඕම් බිර්ලා මහතා අවධාරණය කළේ මෙවැනි සංචාර තුළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර, විශේෂයෙන් පාර්ලිමේන්තු සහයෝගීතාව, සෞඛ්‍ය, මාධ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

 දූත පිරිසේ ප්‍රධානියා ලෙස (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, ඉන්දීය පාර්ලිමේන්තුව විසින් ලබා දෙන ලද උණුසුම් ආගන්තුක සත්කාරය පිළිබඳව සිය ගෞරවනීය කෘතඥතාව පළ කළ අතර පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළේය.

වැඩසටහන සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් ලෝක් සභා ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡා සැසියකින් සංචාරය අවසන් වීමට නියමිතව ඇත.