ෆීජි රාජ්‍යයේ නාඩි හිදී අද (29) පැවැත්වෙන 6 වන ආසියා-පැසිෆික් අමාත්‍ය සහ පරිසර බලධාරීන්ගේ සංසදයට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහභාගී විය.
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) විසින් පවත්වනු ලබන මෙම වැදගත් කලාපීය වේදිකාව, සාමූහික පාරිසරික ප්‍රමුඛතා සහ ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආසියා-පැසිෆික් කලාපය පුරා සිටින අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්රැස් කරමින් සිදු කරනු ලබන වැඩසටහනකි.
2025 දෙසැම්බර් 8 සිට 12 දක්වා නයිරෝබි හිදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව (UNEA-7) සඳහා සූදානම් වීමට ආසියා-පැසිෆික් රටවල් අතර සම්මුති ගොඩනැගීමට සහාය වීම සඳහා මෙය පැවැත්වේ.
මෙම සංසදයේදී, ශ්‍රී ලංකාව සාර්ථකව සත්කාරකත්වය දරා මෙහෙයවූ 5 වන ආසියා-පැසිෆික් අමාත්‍ය සහ පරිසර බලධාරීන්ගේ සංසදයේ සභාපතිත්වය විධිමත් ලෙස භාර දීම සිදු විය. ශ්‍රී ලංකාවේ සභාපතිත්වය යටතේ, තිරසාර සංවර්ධනය, දේශගුණික ක්‍රියාකාරකම්, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, දූෂණය පාලනය කිරීම සහ භූමි ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ තීරණාත්මක සංවාද කලාපය විසින් ඉදිරියට ගෙන යන ලදී.
ශ්‍රී ලංකාව විසින් "පරිසර සහ දේශගුණික විපර්යාස ක්‍රියාකාරකම් සඳහා ළමා සහ තරුණ සහභාගීත්වය වැඩි දියුණු කිරීම" අරමුණු කරගත් කෙටුම්පත් යෝජනාවක් පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කරන ලද අතර, එය බොහෝ සාමාජික රටවල් සහ UNEP හි ප්‍රධාන කණ්ඩායම් විසින් අගය කරන ලදී.
අමාත්‍යවරයා , ද්විපාර්ශ්වික රැස්වීම් කිහිපයක් පැවැත්වූ අතර එම සාකච්ඡා ශ්‍රී ලංකාවට වැඩි පාරිසරික, තාක්ෂණික සහ ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමටත් කලාපයේ හවුල්කාර රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමත් කෙරෙහි අවධානය යොමු කරන ලදී.
එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා Elizabeth Maruma Mrema මහත්මිය සමඟ පැවති ද්විපාර්ශ්වික රැස්වීමේදී, ගරු අමාත්‍යවරයා දේශගුණික වශයෙන් අවදානමට ලක්විය හැකි, සංවර්ධනය වෙමින් පවතින, දූපතක් වන ශ්‍රී ලංකාවට අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගීතාව අවධාරණය කරන ලදී.
නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා, UNEP මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී මැදිහත්වීම අගය කළ අතර, ශ්‍රී ලංකාවට UNEP සහයෝගය තවදුරටත් ශක්තිමත් කරන බව යළි තහවුරු කරන ලදී.


