ශ‍්‍රී ලංකා - ජපන් මිත‍්‍රත්ව මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ

ශ‍්‍රී ලංකා - ජපන් මිත‍්‍රත්ව මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ
  • SocialShare:

අපේ රජය විධිමත් මූල්‍ය කළමනාකරණයක් ඇතිව ක‍්‍රමිකව සංවර්ධන කටයුතු දියත් කරනවා - ප‍්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා

ප‍්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, මාර්ග සංවර්ධන අධිකාරියේ කොළඹ ප‍්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ අධීක්‍ෂණයෙන් බත්තරමුල්ල, ශ‍්‍රී ලංකා - ජපන් මිත‍්‍රත්ව මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම ප‍්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2025.08.28 වන දින සිදු කෙරිණ.

කි. මී. 2.00 ක දිගකින් යුත් මෙම මාර්ගය කාපට් යොදා සංවර්ධනය කරනු ලබන අතර, මේ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 203 කි. ශ‍්‍රී ලංකා රජයේ මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ඉදිරි මාස හය ඇතුළත නිම කිරීමට අපේක්‍ෂිතය. ඒ අනුව 2026 පෙබරවාරි මස 09 වන දිනට පෙර සියලූ ප‍්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට සැළසුම් කර ඇත.

මෙම අවස්ථාවට එක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා : ‘‘අපගේ රජය බලයට පත්වීමට පෙර රටේ තිබූ අර්බුද හමුවේ සංවර්ධන ක‍්‍රියාවලිය නතර වෙලා තිබුණා. ඉදිකිරීම් සමාගම්වලට ව්‍යාපෘති තිබුණේ නැහැ. ඒ නිසා වැඩ සිදුවුණේ නැහැ. නමුත් දැන් එහෙම නෙමෙයි. අපේ රජය යටතේ විධිමත් මූල්‍ය කළමනාකරණයක් ඇතිව ක‍්‍රමිකව සංවර්ධන කටයුතු දියත්කර තිබෙනවා.

අධික රථවාහන සංඛ්‍යාවක් ගමන් කරන මෙම මාර්ගය වසර 13 කින් සංවර්ධනය කර නැහැ. මාර්ගයේ සංවර්ධන කටයුතු තරගකාරී මිළ ගණන් කැඳවීම් යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය රු. මිලියන 203 ක කොන්ත‍්‍රාත්තුවකට පිරිනමා තිබෙන අතර  තරගකාරී ලංසු ක්‍රමය යටතේ ලංසු කැඳවීම හේතුකොටගෙන  ඉංජිනේරු ඇස්තුමේන්තුවට වඩා සැලකිය යුතු මුදලක් අඩුවෙන් කොන්ත්‍රාත් පිරිනැමීමට හැකිවී තිබෙනවා.කෙටි කලක් තුළ ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට අපට හැකිවී තිබෙනවා. රටපුරාම ග‍්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක කෙරෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටසේ සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කරනවා. මේ වසර තුළදීම රඹුක්කන-ගලගෙදර කොටසත් ආරම්භ කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගය 2029 අවසන් වීමට පෙර නිම කිරීමට අපේක්‍ෂා කරනවා.’’

ශ‍්‍රී ලංගම වර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා : ‘‘මාර්ගයේ ධාවනය වන රතුපාට බස්වල අඩුවක් පේන්න නැහැ. පසුගිය රජයන් දියාරු කර තිබූ ශ‍්‍රී ලංගම මේ රජය යටතේ ගොඩනගමින් සිටිනවා. භෞතික හා මානව සම්පත් වැඩිකර ඵලදායී, කාර්යක්‍ෂම සේවාවක් ජනතාවට ලබාදෙන්න උපරිමය කරනවා. බස් රථ ඇණිය නඩත්තු කිරීමට වැඩි මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ශ‍්‍රී ලංගම බලාත්මක කරන වැඩපිළිවෙල ක‍්‍රියාත්මක වෙමින් තිබෙනවා.’’ 

මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, අධ්‍යක්‍ෂ ජනරාල් විමල් කණ්ඩම්බි, අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ඞී. ඒ. එස්. ජයසේකර, ඒ. පී. කේ. අබේධීර, ඞී. එම්. අරම්පොල යන මහත්ම මහත්මීහු සහ කැන්වෙල් කන්ස්ට‍්‍රක්‍ෂන් ආයතනයේ නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.