කොරියා සෘතුමය රැකියාවලට අවබෝධතා ගිවිසුමක් අද උදෑසන අත්සන් කළ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මෙරට රැකියා අපේක්ෂකයින් E-8 කාණ්ඩය යටතේ ඉදිරියේදී කොරියානු රැකියා අවස්ථා සඳහා පිටත්කර හැරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සදහන් කළේය.
මාස 08ක පමණ කාලයක් සඳහා E-8 කාණ්ඩය යටතේ ධීවර සහ කෘෂිකාර්මික රැකියා සඳහා මෙරට පිරිස් කොරියාවට යැවීමට කොරියාවේ විවිධ නගර සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අතර අවබෝධතාවයක් ඇතිකරගෙන ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
මේ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් 02ක් කැබිනට් මණ්ඩලයේදී අනුමත කරගත් බවද, ඒ අනූව අදාල නගරයේ ප්‍රධානීන් සහ රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තමාද මෙම අවබෝධතා ගිවිසුම් 02 අත්සන් කරන බව අවධාරණය කළේය.


