නාස්තිය දූෂණය අවම කරමින් රජය ආර්ථික දර්ශකවලට ළඟාවෙමින් පවතිනවා- ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය

නාස්තිය දූෂණය අවම කරමින් රජය ආර්ථික දර්ශකවලට ළඟාවෙමින් පවතිනවා- ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය
  • SocialShare:

නාස්තිය දූෂණය අවම කරමින් රජය ආර්ථික දර්ශකවලට ළඟාවෙමින් පවතින බවත් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් රජය සතුව පවතින අතර තනි ආයතනයක් ලෙස මහාමාර්ග සංවර්ධනයට විශාල මූල්‍ය ප්‍රතිපාදනයක් වෙන් වී තිබෙන බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) නාවල පාළමේ අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමිනි.
කොළොන්නාව ඇළ මාර්ගය හරහා ද්විත්ව මංතීරු සහිතව ඉදිකරන මෙම නව පාළමේ දිග මීටර් 600 කි. පළල මීටර් 10 කි. ශ්‍රී ලංකා රජයේ දේශීය මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරෙන මෙහි ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 2,598 කි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මූලිකත්වයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉදිකිරීම් අංශයේ සේවා දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම පාළම් ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු මේ වනවිට 94% කින් පමණ අවසන් කර ඇත. මීට සමගාමීව කෝට්ටේ අංගම්පිටය, නාවල පාසල් මාවත ඇතුලු ප්‍රවේශ මාර්ග ද සංවර්ධනය කෙරේ.
රාජගිරිය මංසන්ධියේ දෛනිකව පවත්නා අධික රථවාහන තදබදය අවම කිරීමට මෙම පාළම සැළසුම් කර තිබේ.
ජාතික ප්‍රසම්පාදන කාර්යයන් විනිවිද භාවයෙන් යුතුව සිදු කරමින් රජය රටේ ආර්ථික සංවර්ධනයට කැපවී සිටින බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය වසරට සාපේක්ෂව වියදම් අඩු කරන අතරම, ආදායම් මාර්ග වර්ධනය කිරීමට කටයුතු කර තිබෙන බවත් විදේශ ප්‍රේෂණ, සෘජු විදේශ ආයෝජන, රාජ්‍ය ආදායම වර්ධනයට අවශ්‍ය පසුබිම සකස් කරමින් ඉලක්ක වෙත ගමන් කිරීමට රජය සමත් වී තිබෙන බවත් අවධාරණය කළේය.
එසේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, පෞද්ගලික බස් රථ සහ දුම්රිය සේවාව කාර්යක්ෂම කිරීමට රජය අවශ්‍ය පියවර ගන්නා බවත් එහිදී රජයේ ඉලක්කයන් වෙත යාමට පරිපාලනමය විසඳුම් ගැනීමට සිදුවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ සහ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ නිලධාරීන් පිරිසක් එක්විය.