පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු පළිගැනීමක් නොමැති බවත් මෙම යෝජනාව අලුත් දෙයක් නොවන බවද වසර 25ක පමණ සිට මේ සම්බන්ධයෙන් පක්ෂයක් හැටියට කතා කළ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මුල සිටම මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන බව කියමින් දේශපාලනය කළ බැවින් එයට විරුද්ධ වීමට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට කිසිදු අයිතියක් නොමැති බවද අමාත්‍යවරයා පැවසුවේය. විපක්ෂයේ ඉන්නා විට මේ සම්බන්ධයෙන් දිගටම ප්‍රකාශ කළ බවද ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ ප්‍රථම වරට ආණ්ඩුවට පැමිණි පසු බවද පැවසුවේය.
බලයක් ලද පළමු අවස්ථාවේ එම යෝජනාව ඉදිරිපත් කර ක්‍රමානුකූලව නීති සකස් කරමින් යන බවත්, ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනාට විවිධ අදහස් පැවතිය හැකි යැයිද කීය. මේ දිනවල රාජ්‍ය නිලධාරීන් රටේ ජීවත් වීමට අපහසු අය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් සොයා බැලීමක් සිදුකරන බවත් මන්ත්‍රීවරුන්ටද ජීවත් වීමට අසීරු නම් ඒ සදහා ඉල්ලුම් කළ හැකි බවද ඒ යටතේ විවිධ සහනාධාර දීමනා රජය මගින් ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
එලෙස සාමාන්‍ය පුරවැසියන් ලෙස ඉල්ලුම් කළ පසු රජයට ඒ පිළිබඳව සලකා බැලිය බවත්, මෙතෙක් එවැනි ඉල්ලීම් ලැබී නැතැයිද හෙතෙම සඳහන් කළේය. පෙර ලබාගත් විශ්‍රාම වැටුපට නොව මෙම පනත සම්මත වී ක්‍රියාත්මක වන තැන සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වන බවද අවධාරණය කළේය.


