ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා වන පස් අවුරුදු ක්‍රියාකාරී සැළැස්ම මෙම වසරේ සිට ක්‍රියාත්මක කෙරේ

ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා වන පස් අවුරුදු ක්‍රියාකාරී සැළැස්ම මෙම වසරේ සිට ක්‍රියාත්මක කෙරේ
  • SocialShare:

ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා වන පස් අවුරුදු ක්‍රියාකාරී සැළැස්ම 2025 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන අතර එය අගෝස්තු මස එළිදැක්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා වන පස් අවුරුදු ක්‍රියාකාරී සැළැස්ම 2025 - 2029 පිළිබඳව මාධ්‍යවේදීන් සහ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (01) සංවිධාන කර තිබූ අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.

ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා වන පස් අවුරුදු ක්‍රියාකාරී සැළැස්ම 2025 - 2029 යන මැයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට පසුගිය  ජුලි 1 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

එහි දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ගරු අමාත්‍යතුමිය විසින් සාධනීය නිරීක්ෂණ කිහිපයක් එක් කර තිබූ අතර එම නිරීක්ෂනද ඇතුළත් කරගනිමින්  අගෝස්තු මස තුළ එළිදැක්වීමට අදාළ සියලු කටයුතු සැළසුම් කර ඇත.

ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා වන පස් අවුරුදු ක්‍රියාකාරී සැළැස්ම 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතේ 16 වන වගන්ති ප්‍රකාරව අධිකාරියේ මූළ මණ්ඩලය නියෝජනය කරන  ළමා ආරක්ෂණය සම්බන්ධ විෂය ක්ශේත්‍ර 10ක් ආවරණය වන සේ ඒ වෙනුවෙන් කටයුතු කරනු ලබන පාර්ශවකරුවන් ද සම්බන්ධ කරගනිමින් සකස් කොට ඇත.

මෙම මාධ්‍ය සාකච්ඡාව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් අනෝමා සිරිවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ දී  පැවැත්වුණු අතර, සියලු මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් ද එක්ව සිටියහ.