සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, තැපැල් හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්ට අදාළ ගැටළු හා අඩුපාඩු පිළිබඳව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ “අභිරූ” ශ්‍රවණාගාරයේ දී විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහි දී බකමුණ, ජයන්තිපුර, මැදිරිගිරිය, අත්තනකඩවල, ගලමුණ, පුලස්තිගම, අරලගන්විල, මනම්පිටිය යන ප්‍රාදේශීය රෝහල්, වැලිකන්ද, මැදිරිගිරිය යන මූලික රෝහල් මෙන් ම දියබෙදුම ග්‍රාමීය රෝහල, මින්නේරිය ආයුර්වේද රෝහල, අත්තනකඩවල ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, ජයසිරිපුර ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආදී සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, තැපැල් සහ ජනමාධ්‍ය ඇතුළු රාජ්‍ය ආයතනයන් මුහුණ දෙන ප්‍රධාන ගැටළු පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලදි.
මෙම සාකච්ඡාවට ඉදිරිපත් වූ කරුණු අතර, පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලෙන් ඉවත් කෙරෙන සායනික හා සායනික නොවන අපද්‍රව්‍ය නිසි පරිදි බැහැරලිම සහ පුළුස්සා දැමීම සඳහා දාහකයක් සවි කිරීමට ඉඩම් කොටසක් නොමැති වීමේ ප්‍රශ්නයට ඉඩම් කොටසක් ලබාදීම, රෝහල මැදින් ගලා යන වාරි ඇළෙ හි ජලය පිටාර ගැලීම මෙන් ම ඒ හේතුවෙන් සනීපාරක්ෂාව පිළිබඳව පැන නැගී ඇති ගැටළු පිළිබඳව විධිමත් පියවරක් ගැනීම සහ පොළොන්නරුව රෝහලේ අභ්‍යන්තර මාර්ග පිළිසකර කිරීම වැනි කරුණු මූලික විය. එම අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අවශ්‍ය පියවර එම මොහොතේ ම ගනු ලැබිණි.
තව ද ජාතික සම්පතක් වන පොළොන්නරුව වකුගඩු රෝහලේ දැනට භාවිතාවට නොගන්නා ශල්‍ය උපකරණ සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳව උපදෙස් ලබා ගැනීමට එයට ගැළපෙන විද්වත් කමිටුවක් පත් කිරීමට සිදුවෙන බවත්, රෝහලේ කාර්ය මණ්ඩල ඌණතාවය පිළිබඳවත්, රෝහල ජාතික වශයෙන් සේවා සපයන රෝහලක් බවට පත් කිරීම පිළිබඳවත් මෙහි දී සාකච්ඡා විය.
මින්නේරිය ආයුර්වේද රෝහලේ මානව සම්පත් හිඟය, පංචකර්ම රෝහල සඳහා ස්ථීර වෛද්‍යවරයෙකු නොමැති වීම වැනි පවතින අඩුපාඩු ඉදිරියේ දී විසඳීමටත්, රෝහල් වත්ත ආවරණය වන පරිදි අලි වැටක් සකස් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව මගින් ක්‍රමවත් ඇස්තමේන්තුවක් කඩිනමින් ලබාදෙන ලෙසත් ඒ අනුව ඉදිරියේ දී අලිවැට ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමටත් අවශ්‍ය පියවරයන් ගන්නා බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
මැදිරිගිරිය රෝහලේ නිල නිවාස ඉදිරියෙන් ඇති පොදු ජනතාව භාවිතා කරන මාර්ගය වසා නොදමා ආරක්ෂිත වැඩපිළිවෙළක් දියත් කරන ලෙසට අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදීම ද මෙහි දී සිදු විය.
වැලිකන්ද මූලික රෝහල සංවර්ධනය කිරීමට පවතින ආර්ථික අර්බුද හමුවේ ප්‍රමුඛත්වයක් ලබා දිය නොහැකි නමුත් ඉදිරියේ දී ඒ සංවර්ධන කටයුතු කළ හැකි බවත් බකමූණ දියබෙදුම ග්‍රාමීය රෝහලට ජල පිරිපහදු යන්ත්‍රයක් ලබාදීමටත්, රෝහලේ පවතින අත්‍යවශ්‍ය අඩුපාඩු පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.
ප්‍රජා ජල සංවිධාන, ස්වේච්ඡා සමාගම්, පළාත් පාලන ආයතන පෞද්ගලික ජල අලෙවිකරුවන් විසින් ලබාදෙන ජලයෙහි ගුණාත්මකභාවය සම්බන්ධ ගැටළු සඳහා නිසි නියාමන වැඩපිළිවෙළක් හා සුදුසු අධීක්ෂණ නිලධාරීන් පත් කිරීම පිළිබඳව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය මෙහි දී ලක් විය. මීට අමතරව තැපැල් මළු ප්‍රවාහනය, ජනමාධ්‍යවේදීන් සඳහා හැදුනුම්පත් ලබාදීම, සුබසාධන හා පුහුණු කටයුතු ආදී විෂයන් පිළිබඳව ද සවිස්තර සාකච්ඡාවක් මෙහි දී සිදු විය.
මෙම රැස්වීමට නිවාස නියෝජ්‍ය අමාත්‍ය පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ටී.බී.සරත් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන පද්මසිරි බණ්ඩාර, සුනිල් රත්නසිරි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරුන් වන සිසිර කුමාර, එච්.එම්.සී.අයි.හේරත්, දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක, උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩී.පී පුෂ්පකුමාරි, පොළොන්නරුව ජාතික වෘක්තවේද රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩී.ආර්.එන් සරණසිංහ, පොළොන්නරුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය උපුල් කරුණාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිලන්ති පතිරණ, යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහූ රැසක් එක් ව සිටියහ.


